අග්‍රාමාත්‍ය සහ ගිනිබිසව් ජනපති අතර හමුවක්

2020-02-14 at 16:27

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගිනි-බිසව් (Republic of Guinea-Bissau) රාජ්‍යයේ ජනාධිපති උමාරෝ (Umaro cissoko) මහතා අතර හමුවක් අද (14) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී සිදුවිය.

අප්‍රිකානු මහාද්වීපය තුළ ශ්‍රී ලංකාව ව්‍යාප්ත කර ඇති තානාපති සබඳතා පිළිබඳව ගිනි – බිසව් ජනාධිපතිවරයාගේ ඇඟයීමට ලක්වූ අතර එම සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට පූර්ණ සහාය බටහිර අප්‍රිකානු රාජ්‍යයක් ලෙස හිමිවන බව ගිනි – බිසව් රාජ්‍යයේ ජනාධිපති උමාරෝ ෂිසෝකෝ (Umaro cissoko) එහිදී පැවසීය.

ශ්‍රී ලංකාව හා ගිනි – බිසව් රාජ්‍ය අතර සුහදශීලී සබඳතාවයක් ඇති කර ගැනීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූ අතර දෙරටේ කෘෂිකාර්මික විශේෂඥ අත්දැකීම් හුවමාරු කරගැනීම ගැනත් මෙම හමුවේදි සාකච්ඡා විය.

ගිනි – බිසව් රාජ්‍යයේ ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කලේ තම රාජ්‍යය කජු නිෂ්පාදනයට ප්‍රමුඛතාවයක් දී තිබෙන බවයි.

ශ්‍රී ලංකාවේ සිවිල් ඉංජිනේරු තාක්ෂණයේ දියුණූව පිළිබඳව ඇගයීමක් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ මාර්ග පාලම් ආදිය නිර්මාණය කර තිබෙන ආකාරය ගුවන් තොටුපලේ සිට පැමිණීමේදී දැකගත හැකිවූ බැවින් සිවිල් ඉංජිනේරු තාක්ෂණය හුවමාරු කර ගැනීමට තම රජය කැමැත්තෙන් පසුවන බවද සඳහන් කලේය.

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යපන ආයතනවල පුහුණුව හා උසස් අධ්‍යපන කටයුතු සඳහා ගිනිබිසව් රාජ්‍යයේ සිසුන්ට අවස්ථා ලබා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙම අවස්ථාවට විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා සහභාගි වූ අතර ගිනි-බිසව් රාජ්‍ය නියෝජනය කරමින් විදේශ කටයුතු ඇමැති ෂූෂි දාරෝෂා (suzy dharosa) මහත්මිය ද සහභාගි වූහ.