අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට අරලිය ගහ මන්දිරයෙන් කිරි-කෝපි

2020-02-14 at 18:39

අතුරුදහන්වූවන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙස ඉල්ලමින් අතුරුදහන් වූවන්ගේ පවුල්වල සංවිධානය” විසින් අද (14) කොළඹදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර, ඔවුන් අද පස්වරු 4.30ට පමණ අරලිය ගහ මන්දිරය අභියස ද උද්ඝෙෘ්ෂණයක නිරත වූහ.

අතුරුදහන් වූ පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 6000ක දීමනාවක් ලබා ගැනීම, අතුරුදහන් වූවන් වෙනුවෙන් වන්දි ලබා ගැනීම, රජයේ රැකියා ලබා දීමේදී අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයෙකුට අවස්ථාවක් ලබා ගැනීම, ඉඩම් හා නිවාස ලබා ගැනීම, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාංශයේ කටයුතු කාර්යක්ෂම කිරීම, යුක්තිය ඉටු කරවා ගැනීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගනිමින් අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කොට ඇත.

උද්ඝෝෂණකරුවන් අරලියගහ මන්දිරය අබියසට පැමිණෙන අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා අරලිය ගහ මන්දිරයෙන් බැහැර නිල උත්සවකට සහභාගි වී සිටි අතර අග්‍රාමාත්‍ය ලේකම් ගාමිනී සෙනරත් මහතාට උපදෙස් දෙනු ලැබුවේ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයෙකු උද්ඝෝෂණකරුවන් වෙත යොමුකොට ඔවුන්ගේ ඉල්ලීම් ලබා ගන්නා ලෙසයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා උද්ඝෝෂණකරුවන් වෙත ගොස් ඔවුන්ගේ ඉල්ලීම්වලට අදලා ලිපි ලේඛණ භාරගෙන එම ඉල්ලීම් සලකා බැලීම සඳහා අදාල අංශ වෙත යොමුකරන බව ප්‍රකාශ කලේය.

එහිදී උද්ඝෝෂණකරුවන් ප්‍රකාශ කර සිටියේ මාර්තු මස මැද වනවිට මෙම ඉල්ලීම්වලට විසදුම් අවශ්‍ය බවයි.

අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි උද්ඝෝෂණකරුවන් අරලිය ගහ මන්දිර පරිශ්‍රයට කැදවා ඔවුන් වෙනුවෙන් කිරිකෝපි සංග්‍රහයක් ද පැවැත්විය.

මේ අවස්ථාවේ උද්ඝෝෂකයින් වෙත ගිය ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා ඔවුන්ගේ ඉල්ලීම් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට යොමු කොට අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කලේය.

අදාල ලියකියවිලි සහ ඉල්ලීම් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කිරීමට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා ක්‍රියාකර තිබේ.