අද ආසාධිතයන් 17 න් 15 ක් නාවික හමුදාවේ – 2 ක් ඩුබායි සිට පැමිණි අය

2020-05-23 at 19:15

මෙරට කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 1085 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේදී තවත් ආසාධිතයන් 17 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

ඉන් 15 දෙනෙකු නාවික හමුදා සෙබලුන් වන අතර ඉන් 10 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව සඳහන් කලා. අනෙක් දෙදෙනා ඩුබායි සිට පැමිණි අයයි.

මේ අනුව වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන් ගණන 622 දක්වා ඉහළ යනවා.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති මුලු කොවිඞ්-19 ආසාධිතයන් අතුරින් 416 දෙනෙකු තවමත් මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

ඉන් 98 දෙනෙකු නාවික රෝහලේද / 77 දෙනකු අයි ඩී එච් රෝහලේද / 48 දෙනෙකු මිනුවන්ගොඩ රෝහලේද / 45 දෙනෙකු මුල්ලේරියාව මූලික රෝහලේද / 40 දෙනෙකු වැලිකන්ද රෝහලේද / 38 දෙනෙකු හෝමාගම මූලික රෝහලේද / 28 දෙනෙකු කාත්තන්කුඩිය රෝහලේද / 18 දෙනෙකු ඉරණවිල රෝහලේද ප්‍රතිකාර ලබනවා.

මේ අතර මෙරට ආසාධිතයන් අතුරින් තවත් 40 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 660 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.

22 දෙනෙකු නාවික රෝහලින්ද / 08 දෙනෙකු අයි ඩී එච් රෝහලින්ද / 06 දෙනෙකු මුල්ලේරියාව රෝහලින්ද / 03 දෙනෙකු වැලිකන්ද රෝහලින්ද / එක් අයෙකු ඉරණවිල රෝහලින්ද පිටව ගොස් තිබෙනවා.

අද පෙරවරු 10 වනවිට මෙරට රෝහල්වල සිටි තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 101 ක්.