අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් වැය කිරීමට රජය ප්‍රමුඛත්වය දුන්නා

2019-08-14 at 18:25

වව්නියාව සහ වන්නි ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා වත්මන් රජය ආරම්භ කළ කාර්යභාරය තවදුරටත් ඉදිරියට ගෙන යෑම සඳහා විශේෂ පියවර රැසක් නුදුරේදී ගැනීමට අපේක්‍ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ අද (14) දින වව්නියාව මහා රෝහලේ හදිසි අනතුරු ඒකකය විවෘත කිරීම හා නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තැබීම වෙනුවෙන් පැවැත්වුණු උත්සව සභාව අමතමිනි.

අධ්‍යාපනය හා සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සඳහා වැඩි මුදලක් වැය කිරීමට රජය ප්‍රමුඛත්වය ලබාදුන් බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා එය වත්මන් පරම්පරාව වෙනුවෙන් සිදු කළ ආයෝජනයක් බව ද පෙන්වාදුන්නේය.

රජරට සහ වන්නි ප්‍රදේශයන්ට ප්‍රතිලාභ සැලසෙන මල්වතු ඔය ජලාශය ඉදිකිරීමේ වැඩකටයුතුවලට ලබන සතියේ මුලපිරෙන බව ද අගමැතිවරයා මෙහිදී හෙළි කළේය.

උත්සව සභාව අමතමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරතන්න මහතා පැවසූයේ නිදහස් සෞඛ්‍ය සේවය නිසියාකාරයෙන් අරුත් ගැන්වූණේ මේ රජය යටතේ බවය.

පිළිකා හා හෘද ආදී රෝගීන්ට තිබුණු ආර්ථික අපහසුකම් මකාලමින් ඒ සියලූ කටයුතු නොමිලේ සිදු කර දීම සඳහා රජය විසින් මුදල් වෙන්කර ඇති බව ද සෞඛ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.