අමෙරිකා ජනපතිවරණය කල් දැමිය යුතු බවට ට්‍රම්ප්ගෙන් යෝජනා

2020-07-31 at 07:01

ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අමෙරිකා ජනාධිපතිවරණය කල් දැමිය යුතු බවට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා යෝජනා කරනවා.

කොරෝනා අවධානමත් සමග පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම ඉහළ අගයක් ගැනීම හමුවේ මැතිවරණ ප්‍රථිඵලය විකෘති විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මැතිවරණය කල් දැමීමට එරට ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට කිසිදු බලයක් පැවරී නැහැ.

එය අනුමත කල යුතු වන්නේ අමෙරිකා කොංග්‍රසය විසිනුයි.

කොවිඞ් අවධානමත් සමග තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන්ට වැඩි අවස්ථාවක් දීමටයි එරට ප්‍රාන්ත රැසක් බළධාරීන් තීරණය කර ඇත්තේ.

ට්‍රම්ප් මහතාගේ ස්ථාවරය වන්නේ ඡන්ද දායකයන්ට ආරක්ෂාකාරීව ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන තුරු මැතිවරණය කල් දැමිය යුතු බවයි.

මේ අතර මැතිවරණය කල් දැමීමේ ජනාධිපතිවරයාගේ තීරණයට ඔහු නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයෙන්ම දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා.

සෙනට් සභිකයන් රැසක් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා නැවත වරක් නීතිය අභියෝගයට ලක් කර ඇති බවයි.

විවිධ හේතු දක්වමින් අඛණ්ඩව බලයේ සිටීමට උත්සාහ දරන බවටද ජනාධිපතිවරයාට චෝදනා එල්ල වනවා.

මේ අතර ලොව පුරා කොවිඞ්19 ආසාධිතයන් සංඛ්‍යාව එක් කෝටි 75 ලක්ෂයකට ආසන්න වී තිබෙනවා.

ඊයේ දිනයේදී ලොව පුරා ආසාධිතයන් 274 580 ක්.

අමෙරිකාවෙන් රෝගීන් 66 612 ක්ද / බ්‍රසීලයෙන් 58 271 ක් සහ ඉන්දියාවෙන් 54 966 ක් වාර්තා වුණා.

අමෙරිකාවෙන් ඊයේ දිනයේදී කොවිඞ් මරණ 1239 ක්ද / බ්‍රසීලයෙන් මරණ 1189 ක්ද වාර්තා වුණා.

ලොව පුරා සමස්ත කොරෝනා මරණ ගණන පවතින්නේ 675 532 ක් ලෙසයි.