අවුරුදු 04 ක දරුවෙකුට මත්පැන් පානය කරවීම : සැකකරුට ලක්ෂයක ශරීර ඇපයක්

2021-06-11 at 16:48

වයස අවුරුදු 04 ක පමණ කුඩා දරුවෙකුට මත්පැන් පානය කරවීමේ සිද්ධියට අදාළ සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.

පෑලියගොඩ පොලිසිය විසින් ඊයේ දිනයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක් පමණ වන පුද්ගලයෙකුයි.

අදාළ දරුවාට ලිංගික හිංසනයක් සිදුවී ඇතිදැයි පරීක්ෂණයක් සිදුකරන බවද පොලිසිය අද අධිකරණයට දන්වා සිටියා.

මෙම සිද්ධිය බරපතල වුවද පවතින කොවිඩ් තත්වය සළකා සැකකරුට ඇප නියම කරන බවයි මහේස්ත්‍රාත්වරයා කියාසිටියේ.

නඩුව වැඩිදුර විභාගය ඔක්තෝබර් 11 වනදා සිදුකිරීමට නියමිතයි.

මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මේ මස 23 වන දා දක්වා කල් දමනු ලැබුවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා සිටින තමන් මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන් අදාළ පෙත්සම ගොනු කර තිබෙනවා.

එල්.ටී.බී. දෙහිදෙනිය, ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි අද මෙම පෙත්සම කැදවනු ලැබුවේ.