ආණ්ඩුව 2/3 ඉල්ලන්නේ හමුදා යාන්ත්‍රණයක් ගේන්නයි

2020-07-13 at 12:48

මහ මැතිවරණය පැවැත්වීමට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මේ දක්වා ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නොමැත්තේ ඇයි දැයි සමගි ජන බලවේගය රජයෙන් ප්‍රශ්න කරනවා.

පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පෙන්වා දුන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද මේ සම්බන්ධයෙන් කණස්සල්ල පළ කර ඇති බවයි.

සමගි ජන බලවේගය සිය ප්‍රචාරක කටයුතු සඳහා කොළ පැහැය භාවිත කිරීම වළක්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා මැතිවරණ කොමිසමෙන් කල ඉල්ලීමටද තිස්ස අත්තනායක මහතා ප්‍රතිචාර දැක්වූවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් පුවත්පතකට ලබාදී ඇතැයි කියන සම්මුඛ සාකච්ඡාවක අඩංගු කරුණු සම්බන්ධයෙන්ද තිස්ස අත්තනායක මහතා කරුණු දක්වා සිටියා.

ඔහු අවධාරණය කලේ හමුදාමය මොඩලයක් ඇති කිරීම සඳහා තුනෙන් දෙකක බලයක් ගැනීමට අපේක්ෂා කරන්නේ යැයි අදාළ සම්මුඛ සාකච්ඡාවේ තොරතුරු ඇතුළත් බවයි.