ඇවන්ට්ගාඩ් සිද්ධිය : අධිචෝදනා 7573 ට විත්තිකරුවන් 13 දෙනාට සිතාසි

2019-09-12 at 13:23

ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධ සිද්ධියට අදාළ නඩුව වෙනුවෙන් පෙනී සිටින්නැයි ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුලු විත්තිකරුවන් 13 දෙනාට සිතාසි නිකුත් කර තිඛෙනවා.

ලබන 27 වන දින විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි ඔවුන්ට සිතාසි නිකුත් කර ඇත්තේ.

නීතිපතිවරයා විසින් පසුගියදා මෙම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 7573 ක් යටතේ නඩු පවරනු ලැබුවා.

එය සැළකෙන්නේ මෙරට ඉතිහාසයේ වැඩිම අධිචෝදනා ගොණු කෙරුණු අවස්ථාව ලෙසටයි.

හික්කඩුව ආසන්න මුහුදේ එම් වී ඇවන්ට්ගාඩ් නම් නෞකාව තුළ නිසි බලපත්‍රයක් හෝ අවසරයක් නොමැතිව ස්වයංක්‍රීය ගිණි අවි 816 ක් සහ ජීව උණ්ඩ දෙලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් තබාගැනීම තුළින් වරදක් සිදුකර ඇති බවටයි නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත්තේ.

ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වීම සුදුසු බවට නීතිපතිවරයා කල ඉල්ලීම පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඊට අවසර ලබා දී තිබුණා.

ඒ අනුව ධම්මික ගණේපොළ / ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන කොළඹ විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්වීමට නියමිතයි.