ඇවන්ට් ගාඞ් නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේපයි

2020-06-30 at 15:28

ගාලූ වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළ නඩුවේ ඇතැම් චෝදනා ගොනු කර ඇති ආකාරය නීතිවිරෝධී බවට විත්තිය මතුකළ මූලික විරෝධතා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ධම්මික ගනේපොල / ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලයි එම නියෝගය ලබා දුන්නේ.

මේ අනුව නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 02 වන දා ආරම්භ කෙරෙනු ඇති.

ඇවන්ට් ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිවයි මෙම නඩුවේ චෝදනා ගොනුකර ඇත්තේ.

නඩුවේ ඉදිරි කටයුතු සලකා බැලීම සඳහා ජුලි මස 30 වනදා එය යළි කැඳවන ලෙස ද විනිසුරු මඩුල්ල නියම කලා.