එන්නත් ගැන විපක්ෂ නායකගෙන් ප්‍රශ්න මාලාවක්

2021-04-08 at 13:21

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(08)ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලැබූ ප්‍රශ්නය .
ගරු කථානායකතුමනි,

2019 වසර අග ආරම්භ වී, පසුගිය වසර තුළ ලෝකය පුරා සීඝ්‍රයෙන් පැතිර ගිය කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා, විවිධ රටවල් සහ ඖෂධ සමාගම් එන්නත් සොයාගැනීම ඉතා ඉක්මනින් සිදු කරනු ලැබුවා. ඒ අනුව, පසුගිය වසරේ අග භාගය වන විට බොහෝ රටවල් එන්නත් නිෂ්පාදනය කිරීම සහ, ඒවා තම රටවල ජනතාවට ලබා දීම ආරම්භ කෙරුණා. මෙම එන්නත් ලෝකයේ සියළුම රටවල් අතර සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා කොවැක්ස් පහසුකම (Covax Facility) ලෝක සෞඛ්‍ය සංවිධානය සහ, ගැවී (Global Alliance for Vaccines and Immunizations – Gavi) ආයතනය මැදිහත් වීමෙන් ඒ වන විටත් ආරම්භ කර තිබුණා. වෙනත් බොහෝ රටවල් එන්නත්කරණය ආරම්භ කරමින් තිබියදී, මෙරට රජය කඩිනමින් එන්නතක් ගෙන්වීමට කටයුතු නොකර, විවිධ දේශීය පැණි වර්ග ප්‍රවර්ධනය කරමින් සිටියා.

පසුව, ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත (කොවිෂීල්ඩ් එන්නත) ජනවාරි මස අවසානය වන විට මෙරට පළමු පෙළ සෞඛ්‍ය අංශ වෙත සහ, ආරක්ෂක අංශ වෙත ලබා දීම ආරම්භ කෙරුණා.

ගරු කථානායකතුමනි,
මීට අමතරව මහජන මුදලින් ද කොවිඩ් සඳහා එන්නත් තොගයක් මෙරටට ගෙන්වීමට රජය විසින් කටයුතු කල අතර, එම සියළු එන්නත් පෙබරවාරි සහ මාර්තු යන කාලය තුළදී ජනතාවට ලබා දීම සිදු කරනු ලැබුවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනයන්ට අනුව, එලෙස පළමු මාත්‍රාව ලබා දුන් පිරිසට, එහි දෙවන මාත්‍රාව සති 8ත්-12ත් අතර කාලයක් තුළ ලබා දිය යුතුව තිබෙනවා. ඒ අනුව, ජනවාරි මස 29 වැනි දින එන්නත්කරණය ආරම්භ කළ පිරිසට, මාර්තු මස 26 වැනිදා සිට අප්‍රේල් මස 23 වැනිදා යන කාලපරිච්ඡේදය තුළදී එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දිය යුතු වෙනවා. තවද, පෙබරවාරි මසදී එන්නත්කරණය සිදු කළ පිරිසට මැයි මස අවසානයට පෙර එහි දෙවන මාත්‍රාව ලබාදීම අනිවාර්යයෙන් සිදු කළ යුතු වෙනවා. එන්නතේ සාර්ථකත්වය උදෙසා පළමු මාත්‍රාව ලබාදුන් ඇස්ට්‍රාසෙනිකා එන්නතෙහිම දෙවන මාත්‍රාව නියමිත කාලය තුළදී ලබා දිය යුතුව ඇතත්, ප්‍රමාණවත් පරිදි එන්නත් තොග පවත්වා නොගත් නිසා දෙවැනි මාත්‍රාව එම පිරිසට ලබා දීමට නොහැකි වීමේ අවදානමක් පවතින බව වාර්තා වෙනවා.

ගරු කථානායකතුමනි,

මේ වන විට රජය විසින් රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් (Sputnik) එන්නත ද ඇණවුම් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වන අතර, මීට අමතරව පසුගිය දිනකදී (මාර්තු මස 31 දින) චීන රජයේ ප්‍රදානයක් වශයෙන් සයිනොෆාම් (Sinopharm) එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ද මෙරටට ලැබී තිබෙන බව වාර්තා වෙනවා. නමුත්, මේ වන තෙක් මෙම සයිනොෆාම් එන්නත සඳහා ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) නිසි අනුමැතිය ලැබී නොමැති බව ද දැනගන්නට ලැබෙනවා.
මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙනවා.

1. ජනවාරි මස 29 වැනිදා සිට මේ දක්වා කොපමණ පිරිසකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා (කොවිෂීල්ඩ්) එන්නත ලබා දී තිබේද? ජනවාරි මස අවසානයේ එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පිරිසට අප්‍රේල් මස අවසන් වීමට ප්‍රථමයෙන් දෙවන මාත්‍රාව අනිවාර්යෙන් ලබා දිය යුතු වන අතර, පෙබරවාරි මසදී එන්නත් ලබාදුන් පිරිසට මැයි මස අවසාන වීමට පෙර දෙවන මාත්‍රාව ලබාදිය යුතු වෙනවා. ඒ සඳහා මේ වන විට කොපමණ එන්නත් ප්‍රමාණයක් වෙන්කර තිබේ ද?

එම එන්නත් ප්‍රමාණය දෙවන මාත්‍රාව ලබාදිය යුතු මුළු පිරිසටම ප්‍රමාණවත් වේද? නොඑසේනම්, තවත් කොපමණ එන්නත් ප්‍රමාණයක් ආනයනය කළ යුතුව තිබේද? ඒ වෙනුවෙන් එන්නත් දැනටමත් ඇණවුම් කර තිබේ ද? ඒ කුමන එන්නත් වර්ගය ද? එම එන්නත් මෙරටට ලැබෙන්නේ කවදා වන විට ද? මේ හැර එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොදුන් අතිබහුතරයක් වූ මෙරට පොදු ජනතාව වෙනුවෙන් සුදුසු එන්නතක් ලබා දෙන්නේ කවදාද?

2. චීන රාජ්‍යයේ නිෂ්පාදනය කරන ලද දැනට මෙරටට ලැබී ඇති සයිනොෆාම් එන්නත් මේ වන විට ලබා දීමට සැලසුම් කර ඇත්තේ කාහට ද? මෙම එන්නත තුන් වන මට්ටමේ සායනික පරීක්ෂණ සම්පූර්ණ කර තිබේ ද? මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා අනුමත කොට තිබේ ද? මෙය මෙරට ජනතාවට ලබා දීමට තරම් ආරක්ෂිත බව රජය තහවුරු කරන්නේ ද? මෙම එන්නත ප්‍රදානයක් ලෙස ලැබුණත්, භාවිත කිරීමට නොහැකි වුවහොත් හෝ ප්‍රමාද වුව හොත් ගබඩා කිරීම, ප්‍රවාහනය ඇතුලු කටයුතු සඳහා මෙරට විසින් දැරිය යුතු පිරිවැය කොපමණ ද?

3. සයිනොෆාම් එන්නත සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය (NMRA) මෙතෙක් ලැබී නොමැති නිසා එම අධිකාරියේ වෛද්‍යවරුන් ඇතුළු සමාජිකයන් ඉවත් කර තම හිතවතුන් පත්කිරීම මගින් අයථා ලෙස අනුමැතිය ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා. මෙවන් තීරණාත්මක අවස්ථාවක එම සාමාජිකයන් ඉවත් කිරීමට හේතු වූ සුවිශේෂී කරුණු කවරේ ද? ඒ අනුව පත් කළ නව සාමාජිකයින්ට, පූර්ව සාමාජිකයින්ට වඩා ඇති සුදුසුකම් මොනවාද? ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සංයුතිය අනියම් දේශපාලන මැදිහත් වීමක් තුළින් වෙනස්කර සයිනොෆාම් එන්නත සඳහා සහ, අනෙකුත් ඖෂධ සඳහා නීත්‍යානුකූල අනුමැතියක් ලබා ගැනීම මහජන සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවේද? එමෙන්ම මෙම ක්‍රියාව රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීයභාවයට ‍සිදු කරන නිග්‍රහයක් නොවන්නේ ද?
4. කොවිඩ් සඳහා නිෂ්පාදිත එන්නත් අතුරින් ලෝකයේ වැඩිම පිළිගැනීමක් ඇති ෆයිසර් (Pfizer), මොඩර්නා (Moderna), ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (Johnson and Johnson) වැනි එන්නත් මෙරටට ගෙන්වීම සඳහා රජය කටයුතු නොකරන්නේ මන්ද? ඒ වෙනුවට 3 වන මට්ටමේ සායනික පරීක්ෂණ සම්බන්ධයෙන් දත්ත ලබාදීමට පවා අපොහොසත් වූ සයිනොෆාම් වැනි එන්නතක් මෙරටට ගෙන්වීමට රජය කටයුතු කලේ මන්ද?

5. ජපානයේ නිෂ්පාදිත ඇවිගන් (Avigan) නම් ඖෂධයක් කොවිඩ් 19 රෝගය සඳහා ප්‍රතිකාර ලෙස යොදා ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් (SPC) මෙරටට ගෙන්වා ඇති බව සත්‍යයක් ද? එසේ නම් මෙම ඖෂධ කොපමණ ප්‍රමාණයක් මෙරටට ගෙන්වූවාද? ඒ සඳහා කොපමණ මුදලක් වැයවූවාද? මෙය කොවිඩ් ආසාදිතයින්ට මේ වනවිට ලබා දී තිබේද? නොඑසේ නම් ලබා දීමට බලාපොරොත්තු වන්නේ ද? එසේ නොමැතිනම්, මෙම ඖෂධය මෙරටට ගෙන්වීමේ අරමුණ කවරේද? මේ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී තිබේද? කොවිඩ් ආසාදිතයින්ට ලබා දීමට බලාපොරොත්තු නොවේ නම්, මෙය රජයේ මුදල් නාස්තිවීමක් බව රජය පිළිගන්නේ ද? මෙවැනි නාස්තිකාර වැඩවලට වගකිව යුත්තේ කවුරුද?