ක්‍රයිස්චර්ච් ප්‍රධාන සැකකරු අධිකරණයට – නවසීලන්තය ගිනි අවි නීති දැඩි කරයි

2019-03-16 at 07:21

පුද්ගලයන් 49 දෙනෙකුට මරු කැඳවමින් නවසීලන්තයේ ඉස්ලාමීය දේවස්ථාන 2 ක ඊයේ සිදුවූ වෙඩි තැබීම්වල ප්‍රධාන සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිඛෙනවා.

28 හැවිරිදි ඔස්ටේ්‍රලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් ලබන අප්‍රේල් 5 වනදා යලි අධිකරණය හමුවට පැමිණවීමටයි එහිදී නියෝග කර ඇත්තේ.

කාන්තාවක ඇතුලු තවත් සැකකරුවන් 3 දෙනෙකුද ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබුණා. ප්‍රහාර දෙකෙන් මියගිය අය අතර බංග්ලාදේශ / ඉන්දීය සහ ඉන්දුනීසියා ජාතිකයන් පිරිසක්ද වන බව තහවුරු වී තිඛෙනවා.

නැවත දැනුම්දෙන තුරු නවසීලන්තයේ සියලුම මුස්ලිම් දේවස්ථාන වසා තබන ලෙසටයි එරට ආරක්ෂක අංශ දැනුම්දී ඇත්තේ.

මේ අතර නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් මහත්මිය ප්‍රහාර එල්ලවූ ක්‍රයිස්චර්ච් නගරයට පැමිණ තිඛෙනවා.

මාධ්‍ය හමුවකදී ඇය කියාසිටියේ නවසීලන්තය තුළ ක්‍රියාත්මක ගිනි අවි නීතිය දැඩි කිරීමට සුදුසුම කාලය එළැඹ ඇති බවයි.

බ්‍රෙන්ටන් ටැරන්ට් සතුව ගිනි අවි 5 ක් තිබූ බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ. නවසීලන්තය සැලකෙන්නේ ගිනි අවි සම්බන්ධයෙන් ඉතාම ලිහිල් නීති පවතින රටක් ලෙසටයි.

වයස අවුරුදු 16 ඉක්මවූ ඕනෑම අයෙකුට ගිනි අවි බලපත්‍රයක් ලබාගැනීමට හැකියාව පවතින අතර වෙන වෙනම ගිනි අවි ලියාපදිංචි කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

එනම් එක් බලපත්‍රයක් මගින් ඕනෑම ගිනි අවි සංඛ්‍යාවක් මිළදී ගැනීමට නවසීලන්තය ප්‍රතිපාදන සළසා තිඛෙනවා. නවසීලන්තය සැළකෙන්නේද ලොව වඩාත්ම සාමකාමී රටක් ලෙසටයි.

Please follow and like us: