කොරෝනා වැළඳී චීන සෞඛ්‍ය සේවකයන් 6 ක් මරුට – 1716 ක් ආසාධිතයි

2020-02-14 at 17:58

නව කොරෝනා හෙවත් කොවිඞ්-19 වෛරසය වැළඳීමෙන් මියගිය සහ ආසාධිත චීන සෞඛ්‍ය සේවකයන් සම්බන්ධයෙන් නිළ තොරතුරු එරට රජය අද නිවේදනය කලා.

ඒ අනුව වෛරසයට ගොදුරුවීමෙන් මියගිය චීන සෞඛ්‍ය සේවකයන් ගණන 6 ක්.

වෛරසය සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අනතුරු ඇගවූ වෛද්‍ය ලී වෙන්ලියැන් ද ඒ අතර වනවා.

චීන රජයේ වාර්තා අනුව කොවිඞ්-19 වෛරසය වැළඳී ප්‍රතිකාර ලබන සෞඛ්‍ය සේවකයන් සංඛ්‍යාව 1716 ක්.

අද වනවිට වෛරසය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 1381 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආසාධිතයන් ගණන 64 දහස ඉක්මවා ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

මේ අතර ගුවන් වාර රැසක් අවලංගු කිරීම හමුවේ ගෝලීය ගුවන් සමාගම්වල ආදායම ඩොලර් බිලියන 4 ත් 5 ත් අතර අගයකින් අඩු විය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

එමෙන්ම සිංගප්පූරු ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්විය හැකි බව එරට අග්‍රාමාත්‍ය ලී සියෑන් ලුංග් මහතා අද අනතුරු අගවා සිටියා.

මේ අතර චීනයේ වූහාන් නගරයේ සිට ගෙන්වාගත් ශ්‍රී ලාංකිකයන් 33 දෙනා අද සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ දින 14 ක කාලයක් දියතලාව යුධ හමුදා කඳවුරේ නිරෝධායන කටයුතුවල යෙදීමෙන් පසුවයි.

ඔවුන් අද දහවල් යුධ හමුදාපතිවරයා මුණගැසීමට අකුරේගොඩ නව හමුදා මූලස්ථානයටද පැමිණ සිටියා.