ගතවූ පැය 24 දී මෙරටින් ආසාධිතයන් 256 ක් – දිනයක වැඩිම ගණන – සුවය ලබා ඇත්තේ 01 යි

2020-07-10 at 14:36

ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් අතුරින් ගතවූ පැය 24 තුළදී සුවය ලබා ඇත්තේ එක් ආසාධිතයෙකු පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 1980 දක්වා ඉහළ යනු ඇති.

ඊයේ දිනයේදී අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එක් රෝගියෙකු පමණක් සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් ගතවූ පැය 24 තුළදී ආසාධිතයන් 256 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එය වෛරසය පැතිරයාම ආරම්භයේ සිට මේ දක්වා පැය 24 කදී මෙරටින් සටහන්වූ වැඩිම ආසාධිතයන් ගණනයි.

ඉන් 253 දෙනෙකු කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වන අතර විදේශයන්ගෙන් පැමිණි දෙදෙනෙකු සහ නාවික හමුදා සෙබළෙකුද ආසාධිතයන් ලෙස ඊයේ අනාවරණය කර ගැණුනා.

මේ දක්වා ශ්‍රී ලංකාවෙන් තහවුරු කරගෙන ඇති සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 2350 ක්.

මෙරටින් හමුවූ ආසාධිතයන් අතුරින් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 359 ක්.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මෙරට ආසාධිතයන් අතුරින් 906 දෙනෙකු නාවික හමුදාවේ වන අතර 802 දෙනෙකු විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් වනවා.

මෙරට රෝහල්වල සිටින තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 37 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.