ගලේවෙල ඝාතනය වී ඇත්තේ සම්මාන රැසක් දිනූ කතක් – සොයුරන් 2 ක් ගැන සැකයක් ??

2019-04-16 at 12:10

ගලේවෙල දේවහුව එකේ ඇළ  නිවසක  කපා කොටා ඝාතනය කරන ලද බවට සැකකරන අඹු-සැමි යුවළගේ මළ සිරුරු දෙකක් 15 රාත්‍රියේ සොයා ගත් බව ගලේවෙල පොලිසිය කියයි.

මෙසේ මියගොස්  ඇත්තේ  කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියෙකු වන ගාමිණී සුරවීර (53)  සහ ඔහුගේ බිරිද කෘෂි ආශ්‍රිත නිෂ්පාදන රැසක්  නිෂ්පාදනය කොට මධ්‍යම පළාතේ දිරිය කාන්තාවට හිමි සම්මානය හිමිකරගත් අනුලා සුරවීර (51) යන අය බව පොලීසිය කියයි.

දරුවන් දෙදෙනකුගේ මවක සහ පියෙකු වන මෙම දෙදෙනා නිවසේ සිටියදී කිසියම් පිරිසක් පැමිණ තියුණු ආයුධ වලින් ඉතා අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කොට තිබෙන බව පොලීසිය කියයි.

මෙම දෙදෙනා ගේ පුතුන් දෙදෙනා නිවසේ සිට ගලේවෙල නගරයට  පිටත්ව ගිය අවස්ථාවේ රාත්‍රී අටට පමණ මෙය සිදුව තිබේ.

දරුවන්  නැවත නිවසට එන පැමිණෙන විට නිවෙස ඉදිරිපිට සිය මව සහ පියා ඝාතනය කොට තිබුණු බව කියති.

මෙම දෙදෙනා නිවස ඉදිරිපිට ආහාර ගනිමින් සිටියදී   ප්‍රහාරයට ලක්වී ඇතැයි සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙන බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතා පැවසීය.

දැනට සිදුකරන ලද මූලික විමර්ශනවලදී ඝාතකයන් සොයා ගැනීමට නොහැකි වී තිබෙන බවත් එහෙත් පුතුන් දෙදෙනාගේ සහ අසල්වාසීන් ගෙන් ලද තොරතුරු මත ඉඩම් ආරවුලක් මුල්කොට ගෙන මියගිය කාන්තාවගේ සහෝදරයන් දෙදෙනෙකු පිළිබඳව බරපතළ සැකයක් මතුව තිබෙන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් තුනක් යෙදවූ බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මියගිය  සුරවීර  මහත්මිය මධ්‍යම පළාතේ හොඳම ගෙවිලිය ලෙසත් කෘෂි ආශ්‍රිත නිෂ්පාදන ආහාර නිෂ්පාදන පනස් දෙකක් හදුන්වා දුන් දිරිය කාන්තාවක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ රජය මගින් සම්මාන ලබා තිබීම විශේෂත්වයකි.

2018 වසරේ ලෝක කාන්තා දිනයේ ආදර්ශමත් කාන්තාව ලෙස ජනමාධ්‍ය මඟින් මෙම කාන්තාව පිළිබඳව විශේෂ වැඩසටහන් රැසක් ප්‍රචාරය කර තිබීමද විශේෂත්වයකි.

මෙම ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව පොලීසිය කියයි.

ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතා ඇතුළු අපරාධ අංශයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.