ගාස්තු වැඩි නොවේ – ගැමුණු / සාකච්ඡා කරනවා – අංජන

2019-02-12 at 08:42

ඉන්ධන මිළ ඉහල ගියේ මාස හතරකට පසු බැවින් මෙම අවස්ථාවේදී බස් ගාස්තු ඉහල දැමීමක් සිදු නොකිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිඛෙනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා නිව්ස් රේඩියෝ කල විමසිමකදී අවධාරණය කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක ඉන්ධන මිල සංශෝධනයෙන් බස් හිමියන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන බවයි.

කෙසේවෙතත් සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කලේ අද පස්වරුවේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් පසු බස් ගාස්තු සංශා්ධනයක් සිදුකරන්නේද යන තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර ඉන්ධන මිල ඉහල ගියද ත්‍රීරෝධ රථ ගාස්තු ඉහල නොදමන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා නිව්ස් රේඩියෝවට සදහන් කලා.

මාසික තෙල් මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5 කින්ද ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4 කින්ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8 කින්ද ඉහළ දැමුනා.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිළ රුපියල් 129 ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිළ රුපියල් 152 ක්.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 103 ක් ලෙසද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 126 ක් ලෙසද සංශෝධනය වනු ඇති.