ඝෝඨාට එරෙහි අමෙරිකා නඩුවේ චෝදනා එළියට – පිළිතුරු දෙන්න සති 3 ක්

2019-04-16 at 11:04

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන ඝෝඨාභය රාජපක්ෂ මහතාගෙන් වන්දි ඉල්ලා අමෙරිකාවේ අධිකරණයක නඩුවක් ගොණු කල බව යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය තහවුරු කර තිඛෙනවා.

පසුගිය 7 වනදා කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් දිස්ත්‍රික් අධිකරණයක මෙම නඩුව පැවරූ බවද චූදිතයා වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් විධිමත් ලෙස දැනුම්දීමක් සිදුකල බවද ඔවුන් නිකුත් කල නිවේදනයක සඳහන්.

එම චෝදනාවලට අදාළව වගඋත්තරකාර රාජපක්ෂ මහතාට පිළිතුරුදීම සඳහා ලබන 29 වනදා තෙක් කාලය ඇති බවයි යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය කියාසිටියේ.

අමෙරිකාව තුළ ක්‍රියාත්මක ෆෙඩරල් නීති 2 ක් වන විදෙස් අලාභහානි සිදුකිරීමේ වැරදි පිළිබඳ පණත සහ වධහිංසා වලට ලක්වුණු වින්දිතයන් ආරක්ෂා කිරීමේ පණත යටතේයි මෙම චෝදනා ගොණු කර ඇත්තේ.

නඩුවෙන් පවරා ඇති චෝදනා පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හෝ නඩුව අස්කර ගැනීමට මෝසමක් ඉදිරිපත් කිරීමට වගඋත්තරකාර පාර්ශවයට අවස්ථාව පවතිනවා.

කිසියම් අයුරකින් ඔහු පිළිතුරු නොදෙන්නේ නම් ඔහුගේ සහභාගීත්වයෙන් තොරව වුවද නඩුව ඉදිරියට පවත්වාගෙන යා හැකියි.

අපරාධ නඩුවක මෙන් මෙම නඩුවෙන් කිසිවෙකු සිර දඩුවමකට යටත් කල නොහැකි නමුත් මූල්‍යමය හානියක් අයකර ගත හැකි බවද යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.