ජාතික ආරක්ෂාවට අපහාස වන ප්‍රකාශ එපා – ජනපති

2019-08-16 at 13:19

ජාතික ආරක්ෂාවට අපහාස වන ප්‍රකාශවලින් වළකින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා.

පටු දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් මාතෘ භූමියේ සහ ජාතියේ අනාගතයට හානිවන ආකාරයේ ප්‍රකාශ කිසිවිටෙක සිදු නොකල යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කලේ ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකා රෙජිමේන්තුව වෙත ජනාධිපති සහ රෙජිමේන්තු වර්ණ ප්‍රදානය සංකේතවත් කරමින් සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින්.

රටේ ජාතික ආරක්ෂාව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ ඉටුකරන මෙහෙවර වෙනුවෙන් සමස්ථ ජාතියම ණයගැති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

පහත් පෙලේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඔවුන්ගේ එම අමිල සේවය අවතක්සෙරු කිරීමට ඉඩ දිය නොහැකි බව පෙන්වා දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා අතීතයේ හමුදාවට නායකත්වය දුන් ඇතැමුන් වර්තමානයේදී දේශපාලන න්‍යාය පත්‍ර වලට මුළාවී කරන අවිනීත ප්‍රකාශ පිළිබද තමන් කණගාටුවන බවද අවධාරණය කළා.

රජය ආරක්ෂක අංශ සමග එක්වී රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් යළිත් වරක් ත්‍රස්ත ක්‍රියාවකට මෙරට තුල කිසිදු ඉඩක් නොමැති බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.