“ටෙනී” අද දැයෙන් සමුගනී

2020-10-01 at 07:47

ලාංකීය සිනමාවේ ප්‍රහසන රංගනයට නවමානයක් එක්කළ ප්‍රවීණ සිනමා හා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද මොරටුවේදී සිදු කිරීමට නියමිතයි.

හදිසියේ වැළදුන රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් වී ප්‍රතිකාර ලබමින් සිටියදීයි ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වුණේ.

මොරටුමුල්ල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පසුගිය දින කිහිපයේම කලාකරුවන් / දේශපාලනඥයින් ඇතුලු බොහෝ පිරිසක් එක්ව සිටියා.

වර්ෂ 1986 දී සිනමාවට පිවිසෙන ටෙනිසන් කුරේ මහතා ඉතාම කෙටි කාලයක් තුළදී විකට නළුවෙකු ලෙස සිය ප්‍රතිභා පූර්ණ රංග කෞෂල්‍ය විදහා පාමින් සුවහසක් රසිකයන්ගේ ආදරයට පාත්‍ර වුණා.

සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වූ ටෙනිසන් කුරේ මහතා මියයන විට 68 හැවිරිදි වියෙහි පසු වුණා.