දෙමුහුන් අධිකරණ – මානව හිමිකම් කාර්යාල බෑ – විදේශ ඇමති රජයේ ස්ථාවරය පහදයි

2019-03-20 at 18:30

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සහභාගීවී සිටින නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා රජයේ ස්ථාවරය පැහැදිලි කලා.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පූර්ණ සක්‍රීය මට්ටමේ පවතින බවත් සත්‍ය හා සංහිඳියා කොමිසම ස්ථාපිත කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කෙරෙමින් පවතින බවත් ඔහු කියාසිටියා.

හානි පූර්ණ කාර්යාලයට කොමසාරිස්වරුන් 3 දෙනෙකු යෝජනා වී ඇති බවද මෙවර අයවැයෙන් අදාළ කාර්යාලයට ප්‍රතිපාදන වෙන් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කලා.

දෙමුහුන් අධිකරණයක් පිහිටුවන්නැයි මානව හිමිකම් මහ කොමසාරිස්වරිය කල ඉල්ලීමට පිළිතුරු දෙමින් තිලක් මාරපන මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව විදෙස් විනිසුරුවරුන්ට මෙරට අධිකරණ පද්ධතියට ඇතුලුවිය නොහැකි බවයි.

පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයෙන් සහ ජනමත විචාරණයක් වැනි දීර්ඝ ක්‍රියාවලියකින් බැහැරව එම නීති සංශෝධනය දුෂ්කර බවයි තිලක් මාරපන මහතා පෙන්වා දුන්නේ.

මානව හිමිකම් කොමිසමේ කාර්යාලයක් ස්ථාපිත කිරීමේ යෝජනාවද ශ්‍රී ලංකා රජය බැහැර කරන බව ඔහු අවධාරණය කලා.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ත්‍රස්තවාදයට එරෙහිව මිස කිසිදු අවස්ථාවක ජන කොට්ඨාශයකට එරෙහිව සටන්වැදී නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කලේ.

දේශීය යාන්ත්‍රණයක් වෙනුවෙන් සෑම පාර්ශවයක්ම ශ්‍රී ලංකාවට උපකාර කිරීමේ වැදගත්කමද ඔහු අවධාරණය කලා.

ඉදිරියටත් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි තිලක් මාරපන මහතා අවධාරණය කලේ.

අනතුරුව තවත් රටවල් සහ සංවිධාන ගණනාවක්ද මෙම කොමසාරිස්වරියගේ වාර්තාවට පක්ෂව සහ විරුද්ධව අදහස් පළකලා.

යුරෝපා සංගමය / ඉන්දියාව / ඩෙන්මාර්කය වාර්තාවට පක්ෂවයි අදහස් පළකලේ.

ජර්මනිය / පකිස්ථානය / චීනය ඇතුලු රටවල් කිහිපයක් කියාසිටියේ ශ්‍රී ලංකාවට සිය කටයුතු ස්වාධීනව සිදුකරගෙන යාමට අවස්ථාව සැලසිය යුතු බවයි.

මේ අතර මහා බි්‍රතාන්‍යය ඇතුලු රටවල් කිහිපයක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනාව ජිනීවා හිදී හෙට විවාදයට ගැනෙනවා.