නවසීලන්තය Final යයි – ඉන්දියාව ගෙදර යයි

2019-07-10 at 19:27

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්තය සමත්වුණා.

ඒ මැන්චෙස්ටර් නුවර පැවති ඉන්දියාවට එරෙහි තරගය ළකුණු 18 කින් ජයගනිමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 239 ක්. රොස් ටේලර් 74 යි. කේන් විලයම්සන් 67 ක් ලබාගත්තා.

බුවනේෂ්වර් කුමාර් කඩුලු 3 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ඉන්දියාවට පන්දුවාර 49 යි පන්දු 3 කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ළකුණු 221 ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් වූ කේ එල් රාහුල් / රෝහිත් ශර්මා සහ විරාත් කෝලි ලබාගත්තේ එක් ළකුණ බැගින් පමණයි.

රවීන්ද්‍ර ජඩේජා පන්දු 59 කදී වේගවත් ළකුණු 77 ක් රැස්කලා. මහේන්ද්‍ර සිං දෝණි 50 යි.

තරගයේ වීරයා වූ මැට් හෙන්රි කඩුලු 3 ක් බිඳහෙලුවා.

නවසීලන්තය ලෝක කුසලානයක අවසාන මහා තරගයකට අඛණ්ඩව සුදුසුකම් ලැබූ 2 වන අවස්ථාව මෙයයි.

අවසාන වරට පැවති 2015 ලෝක කුසලානයේදීද ඔස්ටේ්‍රලියාව සමගින් නවසීලන්තය අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවද ඔවුන්ට එහිදී හිමිවූයේ අනු ශූරතාවයයි.

මේ අනුව හෙට බර්මිංහැම් හිදී පැවැත්වෙන ඔස්ටේ්‍රලියා – එංගලන්ත තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග ලබන ඉරිදා ලන්ඩන් නුවර පැවැත්වෙන අවසාන මහා තරගයේදී නවසීලන්තය තරග වදිනු ඇති.