නු’එළියේ ප්‍රදේශ කිහිපයකට නායයාම් අවධානම් – ගංගා ජල මට්ටම් ඉහළට

2019-08-13 at 17:08

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයාම් පිළිබද අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අදාළ ප‍්‍රදේශවලට ගත වූ පැය 24 තුළ අධික වර්ෂාවක් ලැබී ඇති බැවින් ඉදිරි කාල සීමාව තුළද වැසි ඇතිවුවහොත් නායයාම් ඇතිවිය හැකි බවයි.

එබැවින් නායයාමේ ලක්ෂණ පවතින්නේ නම් අදාළ ප‍්‍රදේශවලින් ඉවත් වන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර, මධ්‍යම, සබරගමුව, පළාත්වල මෙන්ම ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම, වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ, මාතර මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද මිලිමීටර් 75 ත් 100ත් අතර තද වැසි අපේක්ෂිතයි.

අද දහවල් 12.30 න් අවසන් වූ පැය 4 ක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 110 ක උපරිම වර්ෂාපතනය වාර්තා වී තිබෙනවා.

මේ අතර කළු, ගිං සහ කැළණි ගඟ ආශ්‍රිතව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගං වතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන්ද, ගිං ගඟ තවලම ප්‍රදේශයෙන්ද, කැළණි ගඟ දැරණියගල සහ කිතුල්ගල ප්‍රදේශයෙන්ද විමසිලිමත්විය යුතු මට්ටමට පැමිණ ඇති අතර පහත්බිම්වල වාසය කරන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතුයි.

මේ අතර, මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිනිගත්හේන නගරයේ වෙළදසැල් හතක් නායයමේ අවධානමක් හේතුවෙන් එම වෙලදසැල් වල වෙලදසැල් හිමියන් සහ සේවකයන් අද (13) ඉවත් කිරිමට පියවර ගත් බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසිය.

ගිනිගත්හේන නගරයේ කොළඹ මාර්ගයේ දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය මුද්‍රණාලයක් තුලට අද පස් කන්දක් කඩා වැටිමෙන් එම මුද්‍රණාලය සහ ඊට පහල මහලේ වු ඖෂධ වෙලදසැලක සේවකයින් ඉවත් කිරිමට පියවර ගත් බවයි සභාපතිවරයා කියා සිටියේ.

ගිනිගත්හේන නගරයේ මිට ප්‍රථම නාය ගිය සහ නායයමේ අවධානමට ලක් වි ඇති වෙලදසැල් 42 කට අමතරව තවත් වෙලදසැල් පහක් නායයමේ  අවධනමක් මතු වි ඇති නිසා එම පිරිසද  ඉවත් කිරිමට පියවර ගත් බවයි සභාපතිවරයා කියා සිටියේ.

ගිනිගත්හේන ප්‍රදේශයට ඊයේ (12) රාත්‍රියේ සිට තවදුරටත් තද වැසි ලැබෙමින් පවතින බවත්  හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ කදු මුදුණේ සිට විශාල ජලධාරිතාවක් පහලට පස් සමග ගලා එන නිසා එම මාර්ගයේ නායයාමේ දැඩි අවධානමක් පවතින නිසා එම  මාර්ගයේ රථ වාහන ධාවනය නොකර විකල්ප මාර්ග ඔස්සේ රථ වාහන ධාවනය කරවන ලෙස අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඉල්ලා සිටියි.