“පාර්ලිමේන්තුවට ගහනවා” – 119 ට බොරු ඇමතුමක් දුන් අයෙක් දැලේ

2019-07-14 at 17:04

පසුගිය 12 වන සිකුරාදා දින රාත්‍රියේ දී “119” පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ඇමතුමක් ලබා දී පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට අසත්‍ය තොරතුරක් ලබා දුන් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවත්, පිටකොටුවේ මුස්ලිම් දේවස්ථානයක් තුළදී පුද්ගලයින් 8 දෙනෙකු එක්ව එම ප්‍රහාරය සැළසුම් කර ඇති බවයි.

එම අට දෙනාගෙන් අයෙක් බම්බලපිටිය සහ අනෙක් පුද්ගලයා මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද ප්‍රකාශ කර තිබෙනවා.

තොරතුර ලද සැණින් කොළඹ මධ්‍යම කොට්ඨාශය භාර පොලිස් අධිකාරී නිශාන්ත සොයිසාගේ අධීක්ෂණය යටතේ ඒ පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී ලබා දුන් දුරකථන ඇමතුමේ තොරතුර අසත්‍ය බවට අනාවරණය වී ඇත.

පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ඇමතුම ලබාදුන් දුරකථන අංකය සහ දුරකථන කුළුණු ඔස්සේ සිදුකළ විමර්ශනය ඔස්සේ සිදුකළ විමර්ශනය ඔස්සේ  අසත්‍ය තොරතුර ලබා දුන් තැනැත්තා ඊයේ (13) ඇල්ල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ඇල්ල ප්‍රදේශයේ නිවසක කුලියට පදිංචි වී සිටි 57 හැවිරිදි අහමඩ් බාවා බ්‍රවුන් නම් අයෙක් බව අනාවරණ වී ඇත

සැකකරුගේ ජාතික හැදුනුම්පතේ පදිංචිය ලෙස බොරැල්ල ප්‍රදේශයේ ලිපිනයක් සඳහන්ව තිබු බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියේ.

සැකකරු තමන් කුලියට සිටින නිවසේ හිමිකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කරමින් දුරකථන ඇමතුම ලබාදුන් සිම් කාඩ් පත මිලට ගෙන ඇති බවත් අනාවරණ වී ඇත.

සැකකරු මේ වන විට පිටකොටුව පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන් කලේ.

Please follow and like us: