පාර්ලිමේන්තු රැස්වීම් නීත්‍යානුකූලයි / UNP -JVP

December 7, 2018

පාර්ලිමේන්තුව වර්තමානයේ රැස්වන්නේ ස්ථාවර නියෝග සහ පිළිගත් සම්ප්‍රදායට අනුකූලව පමණක් බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරනවා.

පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ එය මුලුමණින්ම නීත්‍යානුකූල බවයි.

මේ දිනවල පාර්ලිමේන්තුව රැස්වන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එල්ල කළ චෝදනාවලට පිළිතුරු වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළා.

පොදුජන පෙරමුණූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ ස්ථාවර නියෝග සහ පිළිගත් සම්ප්‍රදායට පටහැනිව පාර්ලිමේන්තුව පවත්වන පාර්ශවවලට එරෙහිව ඉදිරියේදී දැඩි පියවර ගන්නා බවයි.

නිව්ස් රේඩියෝ කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

වර්තමානයේ රට මුහුණපා ඇති අර්බුධය නිර්මාණය කළ පුද්ගලයින්ට එරෙහිව නව රජයක් යටතේ උපරිම පියවර ගන්නා බවයි හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ.

නිව්ස් රේඩියෝ මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් ද විමසීමක් කළා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ පාර්ලිමේන්තු රැස්වීම් සියල්ල නිසි පරිදි පවත්වා ඇති බවයි.

කුමන්ත්‍රණවලට සම්බන්ධවුවන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට තම පක්ෂයද ක්‍රියා කරන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.