පොළොන්නරුවේ ගම්මාන 12 ක් හුදකලා කරයි

2020-04-22 at 21:57

පොළොන්නරුව ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වූ කොරෝනා වෛරස ආසාධිත රෝගියා වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන සෙබලෙකු බව තහවුරු වී තිබෙනවා.

ඔහු මෙරටින් තහවුරු වූ 322 වන කොරෝනා වෛරස් ආසාධිතයායි.

මෙම සෙබළාට කොරෝනා වෛරසය වැළදුණු ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා සඳහන් කලා.

මෙම නාවික සෙබලා සේවය කළ වැලිසර නාවික හමුදා කඳවුර තුල විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවලක් ක්‍රියාවට නංවා තිබෙනවා.

එමෙන්ම ගතවූ දින 14 ක කාලය තුළ වැලිසර නාවික කඳවුරු භූමියේදී ඔහු හා සමීපව ඇසුරු කළ අනෙකුත් නාවික සෙබලුන් ඇතුලු පුද්ගලයින් කවුරුන්ද යන්න මේ වන විටත් සොයා බලමින් සිටින බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

මෙම නාවික හමුදා සෙබළා සැළකෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් හමුවූ පළමු කොරෝනා ආසාධිතයා ලෙසයි.

මේ අතර පොළොන්නරුවෙන් පළමුවරට කොරෝනා වෛරස් ආසාධිතයෙකු හමුවීමත් සමග ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන 12 ක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව දැනට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දිස්ත්‍රික් 16 කින් ආසාධිතයන් සොයාගෙන තිබෙනවා.

මේ අතර ඊයේ පස්වරුවේ තහවුරුවූ 323 වන කොරෝනා වෛරස් ආසාධිතයා ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි ජා-ඇළ සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.