බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය කොට උඩ

2020-09-15 at 06:59

ශ්‍රී ලංකාවට එරෙහි තරග 03 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මෙම අවස්ථාවේදී පැවැත්විය නොහැකි තත්වයක් මතුවී ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

බංග්ලාදේශ ක්‍රීඩකයන්ට මෙරටදී අනුගමනය කල යුතු අනිවාර්ය නිරෝධායන කාලසීමාව සම්බන්ධ ගැටලුවකුයි ඊට හේතුවී ඇත්තේ.

විදේශයක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම අයෙකු දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත් වනවා.

එහෙත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී ඇත්තේ දින 07 ක නිරෝධායන කාලසීමාවකට පමණක් එකගවිය හැකි බවයි.

නිරෝධායන කාලසීමාව තුළ අවස්ථා 03 කදී ඔවුන් පී සී ආර් පරීක්ෂණවලට භාජනය කෙරෙන අතර වෛරසය වැළඳී නැතැයි තහවුරු වුවහොත් පමණක් පුහුණුවීම් සඳහා අවසර හිමිවනවා.

කෙසේවෙතත් මෙම කොන්දේසි දැඩි බැවින් අනුගමනය කල නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් මහතා පෙන්වා දෙනවා.

මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් කොවිඞ් මර්දන කාර්ය සාධක බලකාය සමග සාකච්ඡා කර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීම පිළිබඳ සළකා බලන ලෙසයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ.