බලපත්‍ර රහිත ගිනි අවි වැටලීමට පොලිසිය සහ බුද්ධි අංශ

2020-02-18 at 10:26

බලපත්‍ර රහිතව ලග තබාගෙන සිටින ගිනි අවි වැටලීම සඳහා පොලිසිය සහ බුද්ධි අංශ යොදවා ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

අනවසර ගිනි අවි රජයට භාරදීම සඳහා ක්‍රියාත්මක වූ සහන කාල සීමාව අවසානවීමත් සමග මෙම වැටලීම් ආරම්භ කල බවයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කලේ.

පසුගිය 12 වනදායින් අවසන්වූ අදාළ කාලසීමාව තුළදී බලපත්‍ර රහිතව තබාගෙන සිටි සහ බලපත්‍ර අලුත් නොකල ගිනි අවි 200 කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් ස්ථාන වෙත ලැබී තිබුණා.

බෝර 12 වර්ගයේ අවි 137 ක් / බෝර 16 වර්ගයේ අවි 15 ක් / රිපීටර් වර්ගයේ අවි 5 ක් / රයිෆල 6 ක් / රිවෝල්වර 7 ක් සහ පිස්තෝල 8 ක් ද ඒ අතර වන බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කලා.

සහන කාලසීමාව තුල ගිනි අවි භාරදුන් පුද්ගලයන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගන්නා බවයි පොලිසිය කියාසිටියේ.

එහෙත් තවදුරටත් අනවසර ගිනි අවි තබාගෙන සිටින්නන් අත්අඩංගුවට ගෙන නීතිය දැඩිව ක්‍රියාවට නංවන බව ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කලා.

එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් පොලිසිය දැනුවත් කරන්නැයිද ඉල්ලීමක් කෙරෙනවා.

මේ අතර සහන කාලසීමාව තුළදී භාරදුන් බලපත් අලුත් නොකල ගිනි අවි අලුත් කිරීම සඳහා මාස 3 ක කාලයක් දීමටද ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.


sem, venenatis, amet, libero. consectetur dapibus