බස් රථ තුළ විවිධ ද්‍රව්‍ය අලෙවි කිරීම වහාම නවත්වන්නැයි උපදෙස්

2020-07-13 at 14:23

කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලූම පුද්ගලික හා ලංගම බස් රථ තුළ සිදු කෙරෙන විවිධ ද්‍රව්‍ය අලෙවි කිරීම වහාම නැවැත්වීමට පියවර ගන්නැයි ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසම හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

ඇතැම් ජංගම වෙළෙන්දන් විසින් සෞඛ්‍යාරක්ෂණ පිලිවෙත් අනුගමනය නොකරමින් කටයුතු කරන බවට මහජනතාව විසින් පැමිණිළි කර ඇති බවයි අමාත්‍යංශය නිවේදනය කලේ.

මෙම පුද්ගලයින් දිනපතා බස් රථ ගණනාවකට ගොඩ වෙන අතර ඔවුන් විසින් සෞඛ්‍ය ආරක්ෂණ පිලිවෙත් අනුගමනය නොකිරීම හමුවේ කොවිඞ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ ඉහළ යැයි පෙනී යන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාර්තු මාසයේ සිටම දුම්රියවලට ජංගම අලෙවිකරුවන් ඇතුල්වීම වළක්වා ගැනීමට කටයුතු යොදා තිබුණා.

ඒ අනුව බස් රථවලද ජංගම වෙලෙඳ කටයුතු නැවැත්වීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇති අතර එම කටයුතු පාලනය සඳහා නිලධාරින් යෙදවීමට මෙන්ම ආරක්ෂක අංශවල සහයෝගය ද ලබා ගන්නා ලෙසද දැනුම් දී තිබෙනවා.