බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව හෙළි වෙයි

2020-10-01 at 17:44

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පසුගියදා පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමට හේතුව එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිසි ප්‍රමිතියකට අනුව සිදු කර නොතිබීම බව අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව අදාල ගොඩනැගිල්ල කඩා වැටී ඇත්තේ නායයාමකින් නොවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිදුකල පර්යේෂණයේදී අනාවරණ වූ බවයි එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු නිවුස් රේඩියෝවට කියාසිටියේ.

මෙම සිද්ධියට අදාලව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සකස් කළ වාර්තාව මේවනවිට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා වෙත භාර දී තිබෙනවා.

කඩා වැටීමට ලක්වූ ගොඩනැගිල්ලේ ව්‍යූහය මහල් 5ක් සඳහා කිසිසේත් සුදුසු තත්වයේ නොතිබූ බව එම වාර්තාව මගින් පෙන්වා දී ඇතැයිද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු නිවුස් රේඩියෝවට ප්‍රකාශ කළා.

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් ඒ අසල තිබූ තවත් නිවසක් මතට කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මාස එකහමාරක සිගිතියක සහ ඇගේ මව සහ පියා ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 20 වනදායි.

කඩා වැටීමට ලක්වූ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසිය විසමින් අත්අඩංගුවට ගත් අතර ඔහු මේවනවිට රක්ෂිත බන්ධනාගාරයේයි පසුවන්නේ.