මත් ජාවාරම්වලට සම්බන්ධ නාකොටික් නිළධාරීන්ට එරෙහිව මරණ දඩුවම ඉල්ලයි

2020-07-10 at 15:20

පොලිස් බාරයට ගත් මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ මහතා පවසා සිටියේ, මේ පිළිබඳව කඩිනමින් විර්ශනයක් සිදුකර නීතිපතිවරයා හරහා අධිචෝදනා ගොනුකරන බවය.

ඉන්පසු අදාළ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ද නිතීපතිවරයා හරහා අධිකරණයෙන් ඉල්ලීමක් කරන බව අජිත් රෝහණ මහතා පැවසීය.

පොලිස් බාරයට ගත් මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 18 දෙනෙකු හා පිටස්තර පුද්ගලයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක්, උප පොලිස් පරීක්ෂකවරු තිදෙනෙක් සහ පොලිස් සැරයන්වරු 08 දෙනෙකු බවය.

මේ වන අදාළ පොලිස් නිලධාරීන් සතුව තිබී සොයාගත් වාහන 11කට ආසන්න සංඛ්‍යාවක් සහ ඉඩම් කට්ටි 18ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුටත් පැවසීය.

අද (10) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේය.