මෙදා අවුරුද්දේ කොට්ටාපොර – කඹ ඇදීමට අවසර නෑ

2021-04-03 at 14:58

කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ මහජනතාව මෙවර සිංහල හා දමිළ අලූත් අවුරුද්ද සැමරීමේදී අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

මෙම අවුරුදු සමය තුළ සංගීත සංදර්ශණ හෝ මහාපරිමාණ අවුරුදු සැණකෙළි පැවැත්වීමට කිසිඳු අවසරයක් නොලැබෙන අතර මහජනතාව රැස්වන අනෙකුත් ක්‍රියාකාරකම් නියමිත මාර්ගෝපදේශ මාලාවට අනුව සංවිධානය කළ යුතුයි.

මෙවර සිංහල හා දමිළ අලූත් අවුරුද්ද සැමරිමේදී අවුරුදු ගමන් බිමන් යාම / අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිදුකිරීම හා අවුරුදු උත්සව පැවැත්වීම යන ප්‍රධාන කරුණු මුල් කරගනිමින් මෙම උපදෙස් මාලාව නිකුත් කර තිබෙනවා.

නෑදෑ ගමන් යාම / කැවිලි හුවමාරු කරගැනීම / නිවසින් පිටත බොහෝ පිරිසක් එකතු වී සිදුකරන අවුරුදු ක්‍රීඩා සහ අවුරුදු උත්සව සංවිධානය හැකිතාක් අවම කරන ලෙසයි එමගින් උපදෙස් දී ඇත්තේ.

සාප්පු සවාරි සහ වෙළඳසැල් වෙත යාමේදී මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු එලෙසම ක්‍රියාත්මක කළ යුතු අතර කොවිඩ් 19 රෝගය වැළඳී ඇති පුද්ගලයන් සහ ආශ්‍රිතයින් සාප්පු සවාරි යාමෙන් වැළකී සිටිය යුතු බවට දැනුම් දී තිබෙනවා.

අවුරුදු උත්සව සංවිධාන කිරීමේදී ක්‍රීඩා ඉසව් පැවැත්විය යුතු ආකාරයද මෙම උපදෙස් මාලාවේ දැක්වෙනවා.

කොරෝනා වසංගතයේ පැතිරීම අවදානම් විය හැකි බැවින් කඹ ඇදීම සහ කොට්ටපොර ගැසීම ක්‍රීඩා පැවැත්වීම සුදුසු නොවන අතර පාපැදි තරග සහ මැරතන් ධාවන තරගවලදී තරගකරුවන් දිරිමත් කිරීම සඳහා පසුපසින් ගමන් කිරීමද සුදුසු නොවන බවයි උපදෙස් මාලාවේ දැක්වෙන්නේ.

අනෙකුත් ජන ක්‍රිඩා වලදී නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසද උපදෙස් දී තිබෙනවා.

මෙම වසරේදී කොවිඩ් 19 වසංගත තත්වය පෙරට වඩා දරුණුව පැවතියත් පසුගිය වසරේ ලද අත්දැකීම් සමග පවතින නීති රීති යම්කිසි දුරට ලිහිල් කරමින් මෙවර අවුරුද්ද සැමරිය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ.