මෙම මස අවසන්වීමට පෙර බැංකු ණය පොළිය සියයට 10 දක්වා පහළට

2019-07-14 at 16:51

මේ මාසය අවසන් වනවිට බැංකු ණය පොලිය 12% සිට 10% දක්වා අඩු කරන බවත් සංචාරකයින්ගේ පැමිණීම වැඩිවනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14) ත්‍රිකුණාමලයේදී පැවසීය.

ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා ඇතුළු ආණ්ඩුව සූදානම් බව පැවසූ වික්‍රමසිංහ මහතා විපක්‍ෂය ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ බවත්, එම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී පාර්ලීමේන්තුවේ ඝණපූර්ණය තබා ගැනීමට පවා විපක්‍ෂයට නොහැකි වූ බව පෙන්වාදුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ත්‍රිකුණාමල, නගර සභා ක්‍රීඩාංගනයේ පැවැති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි. මෙම උත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රේක්ෂකාගාරය ද විවෘත කෙරිණි.

ත්‍රීකුණාමලය නගර සභා ක්‍රීඩාංගනයේ පැවැති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රධානය කිරීමේ උත්සවය එක්වෙමි තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

මේ මාසය අවසන් වන විට බැංකු ණය පොලිය 12% සිට 10% දක්වා අඩු කිරීමට අප කටයුතු කර තිබෙනවා. මෙමගින් විශාල පිරිසකට සහනයක් සැලසෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

මේ වසරේ මුලදී විදේශ සංචාරකයින් එක්ලක්‍ෂ හැට හයදහසක් ලංකාවට පැමිණියා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එම සංඛ්‍යාව තිස් හත්දහස දක්වා අඩු වුණා. නමුත් ඉන්පසු රජය ගෙන ගිය කඩිනම් වැඩ පිළිවෙළ නිසා ජුනි මාසයේදී එම සංඛ්‍යාව හැට තුන්දහසක් දක්වා වැඩි වුණා. මේ මාසය අවසන් වන විට එය ලක්‍ෂයක් දක්වා වර්ධනය වන බව කිව යුතුයි. එමෙන්ම අගෝස්තු මාසය අවසන් වන විට මේ සංඛ්‍යාව එක්ලක්‍ෂ විසිපන්දහස දක්වා වැඩි කර ගැනීමට අප පියවර ගෙන තිබෙනවා.

අපට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට අප සූදානම්. නමුත් විපක්‍ෂය තමන් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳව පැවැති විවාදයේදී පාර්ලිමේන්තුවේ ඝණපූර්ණය තබා ගැනීමටවත් ඔවුන්ට නොහැකිව විපක්‍ෂය බංකොළොත් තත්ත්වයට පත් වුණා.

පාස්කු ප්‍රහාරයෙන් පසු පවුල් ලක්‍ෂ 6කට සමෘද්ධිය ලබාදීමට අප පියවර ගත්තා. එමෙන්ම ඉඩම් ඔප්පු බෙදාදීම, ගුරු පත්වීම් ලබාදීම, මහා සංඝරත්නය සඳහා රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වාදීම ආදී සංවර්ධන කටයුතු රාශියක් ක්‍රියාත්මක කළා.

පසුගිය මැතිවරණයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉඩම් සම්බන්ධව පොරොන්දු දෙකක් ලබාදුන් බව මෙහිදී සිහිපත් කළ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඒ පොරොන්දු ඉටු කරදීමට හැකිවී තිබෙන බව සඳහන් කළේය.

පවුල් දස ලක්‍ෂයක් සඳහා ඉඩම් ඔප්පු ලබාදීමටත් වසර 10 ක් රජයේ ඉඩම්වල පදිංචිව සිටි සියලූ දෙනාටම එම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබාදීමටත් පියවර ගෙන තිබෙන බව ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.