මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමට ජාත්‍යන්තර සහාය

2020-06-30 at 12:43

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමට සහාය ලබා දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා විදෙස් තානාපතිවරු සහතික වෙති.

ඉදිරියේ දී ඒ සදහා අවශ්‍ය මූල්‍ය සහ වෙනත් සහයෝගයන් ලබාදීමට ඒ අනුව ඔවුහු එකගතාවය පළ කළහ.

මෙම එකගතාවය පළ වුණේ කොවිඩ් 19 හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමේ ක්‍රියාමාර්ග පිළිබද රජයේ නියෝජිතයන්, තානාපතිවරුන් හා ඔවුන්ගේ නියෝජිතයන් අතර ඊයේ (29) පැවති වටමේස සාකච්ඡාවකදී ය.

එය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණ.

මෙම වටමේස සාකච්ඡාවන් සදහා ලෝක බැංකුව වැනි මූල්‍ය ආයතන නියෝජිතයෝත් කැනඩාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය වැනි රටවල් රැසක නියෝජිතයෝ සහභාගී වූහ.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම වට මේස සාකච්ඡාව සදහා සුබ පැතුම් පණිවිඩයක් එවමින් සදහන් කළේ කොවිඩ් 19 වසංගතයෙන් පසු ව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ආරක්ෂිත හා නම්‍යශීලි ලෙස ඉදිරියට ගෙන යාමට රජය කටයුතු කරමින් සිටින බවයි.

ඒ සදහා අමාත්‍යාංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය, එක්සත් ජාතීන්ගේ වැඩසටහනේ ද සහභාගීත්වයෙන් මාර්ග සිතියමක් සකස් කරමින් තිබේ.

සංචාරක ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය මෙන් ම ගත යුතු පියවරයන් ද ඒ සදහා එල්ල විය හැකි බලපෑම් පීළිබද තක්සේරුවක් ද සහිතව මෙම මාර්ග සිතියම සකස් කෙරෙමින් පවතින බව ඇමතිවරයා කියයි.