මෛත්‍රීද ? රාජපක්ෂවරයෙක්ද ? අතයි පොහොට්ටුවයි මත 2 ක

January 12, 2019

මීලග ජනාධිපතිවරණ අපේක්ෂයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මත දෙකක් හටගෙන තිඛෙනවා.

පක්ෂ දෙක එක්ව ගොඩනගන නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දිය යුතු බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයේ වන්නේ.

කෙසේවෙතත් රාජපක්ෂ පවුලේ සාමාජිකයකුට මීලග ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දිය යුතුය යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසකගේ ස්ථාවරය වී තිඛෙනවා.

මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා කියා සිටියේ නිසැකවම රාජපක්ෂවරයෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු බවයි.

මහනුවර පැවති ජන හමුවකට එක්වෙමින් නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොශාන් රණසිංහ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පලකළා.

මන්ත්‍රීවරයා කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන මහතා ද මීලග ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරයෙකු ජයග්‍රහනය කරවීමට සහය දිය යුතු බවයි.

මේ අතර සියලු බලවේග එක්කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යලි ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.