යුධ හමුදාපතිට හා පවුලේ සාමාජිකයන්ට අමෙරිකාවට ඇතුලුවීම තහනම්

2020-02-14 at 21:47

ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ පවුලේ සාමාජිකයන්ට අමෙරිකාවට ඇතුලුවීම තහනම් කර තිබෙනවා.

ඒ එල් ටී ටී ඊයට එරෙහි යුධමය වාතාවරණය පැවති සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් චෝදනා පදනම් කරගනිමිනුයි.

මීට අදාළ නියෝගය අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත්තේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතාගේ අත්සනින් යුතුවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන විසින් දක්වා ඇති පරිදි අදාළ චෝදනා සාධක සහිත බරපතල ස්වභාවයේ පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාව ඇතුලු රටවල මානව හිමිකම් සම්බන්ධයෙන් අමෙරිකාව තබා ඇති තත්වය මෙවැනි චෝදනා හමුවේ අවප්‍රමාණය වන බවයි අමෙරිකාවේ ස්ථාවරය වන්නේ.

මානව හිමිකම් ආරක්ෂා කරන ලෙසටද / යුධ අපරාධ චෝදනාවලට සම්බන්ධ පාර්ශවවලට එරෙහිව නීතිය ක්‍රියාවට නංවන්නැයිද රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා.

වගවීම සම්බන්ධයෙන්ද අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නැවත සිහි කැඳවීමක් සිදුකර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර දීර්ඝ කාලයක සිට පවතින ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ සම්ප්‍රදායන් අඛණ්ඩව ආරක්ෂා විය යුතු බවයි.

එල්ලවිය හැකි තර්ජනවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට තවදුරටත් සහය සපයන බවයි රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

ආරක්ෂක සබඳතා තවදුරටත් පවත්වා ගෙන යන බවද ප්‍රතිසන්ධානය / මානව හිමිකම් සහ වගවීම වෙනුවෙන් සෑම සහයක්ම ලබාදෙන බවද අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.