රංජන් නිසා සභාව තුල දැඩි නොසන්සුන්තාවයක් – සභාවේ වැඩ කටයුතු විනාඩි 05 කට අත්හිටුවයි

2021-04-08 at 10:40

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සම්බන්ධයෙන් සභාව තුල හටගත් දැඩි නොසන්සුන්තාවයක් හේතුවෙන් සභාවේ වැඩ කටයුතු විනාඩි 05 කට අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගත්තා.

රාමනායක මහතාගේ මන්ත්‍රී අසුන අහිමිවිමට බලපෑ නෛතික තත්වය සම්බන්ධයෙන් අද සභාව ආරම්භයේදී විශේෂ නිවේදනයක් කරමින් කථානායකවරයා සභාවට දැනුම් දුන්නා.

අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කල අතර ඔහු කියාසිටියේ රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී අසුන අහෝසි කිරිමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.

එය ඔහුගේ සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් කඩ කිරීමක් බවටද විපක්ෂ නායකවරයා චෝදනා කලා.

අනතුරුව කථානායකවරයා පැවසුවේ අභියාචනාධිකරණයෙන් දුන් තීන්දුව අභියෝගයට ලක් කර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට රංජන් රාමනායක මහතාට අයිතියක් ඇති බවයි.

එසේ නම් එම අභියාචනයේ තීන්දුව ලැබෙනතුරු නොසිට රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට කථානායකවරයා හදිසියේ කටයුතු කරන්නේ ඇයි දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසීමක් කලා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කලු පැහැති අත් පළඳනා සහ සාටක පැළඳ සභා ගැබේ විරෝධතාවයකද නිරත වූ අතර එහිදී හටගත්තේ දැඩි නොසන්සුන්තාවයක්.

මේ අතර 2010 වසරේදී තමාට එරෙහි නඩු තීන්දුවක් හේතුවෙන් එවක කථානායක චමල් රාජපක්ෂ මහතා තමාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ නොදුන් බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා චෝදනා කලා.

ඊට චමල් රාජපක්ෂ මහතාච ප්‍රතිචාර දැක්වීමත් සමග සභාව තුළ දැඩි උණුසුම් තත්වයක් හටගත්තා.

ඒ අනුවයි සභාවේ කටයුතු විනාඩි 05 කට අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගත්තේ. කෙසේවෙතත් මේ වනවිට නැවතත් සභාවේ කටයුතු ආරම්භ වී තිබෙනවා.

මේ අතර රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වෙනුවෙන් අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම අද දිනයේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කලා.