රටේ ආරක්ෂාව දුර්වල වී නෑ – මානව හිමිකම් චෝදනාවලට විසඳුම් ලබන 25 ජගත් සංවිධානයට

September 14, 2018

රටේ ආරක්ෂාව කිසි ලෙසකින් හෝ දුර්වල වී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. රටේ ආරක්ෂාව දුර්වල වී ඇති බවට ඇතැමුන් කරන ප්‍රකාශ පදනම් විරහිත බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ලබන වසර සඳහා වන අයවැයෙන් රුපියල් බිලියන 230 කට අධික මුදලක් ආරක්ෂක වියදම් සදහා වෙන් කර ඇති බවද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලා. ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්. මෙරට යුධමය වාතාවරණය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු ඇතුළත් විධිමත් ලේඛණයක් නොමැති බැවින් අදාළ සියලු විස්තර ඇතුළත් කර ග්‍රන්ථයක් රචනා කිරීමට පියවර ගෙන ඇති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ. හමුදා ප්‍රධානීන් කැඳවා ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා කර ඇති බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කලා.

නඩුු පැවරීමකින් තොරව ආරක්ෂක අංශ සමාජිකයින් අත්අඩංගුවට ගැනීම ද ජනාධිපතිවරයාගේ දෝෂදර්ශනයට ලක්ව තිඛෙනවා. එය නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ ඉහළ නිළධාරීන් හමුවේ අවධාරණය කළ බවයිි මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේ. ආරක්ෂක අංශ සමාජිකයින් අත්අඩංගුවට ගන්නේ නම් නඩු පැවරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකසන ලෙසටද ජනාධිපතිවරයා අදාළ නිළධාරීන්ට උපදෙස් දී තිඛෙනවා. නඩු පැවරීමකින් තොරව ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයින් රක්ෂිත බන්ධනාගාරයේ තැබීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළකල බවයි ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කලේ.

මෙරටට එල්ලවී ඇති මානව හිමිකම් චෝදනාවලට සම්බන්ධ යෝජනාවලියක් ජගත් සංවිධානයට සහ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කලා. මෙවර මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවෙමින් ලබන 25 වනදා තමන් සිදුකරන දේශනයේදී එය ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා කියාසිටියා. ජගත් මානව හිමිකම් නව කොමසාරිස් මිශෙල් බැෂ්ලේ මහත්මිය මුණගැසීමටද එහිදී බලාපොරොත්තු වන බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කලා.

මේ අතර තමන් ඝාතන ප්‍රයත්නයක් සම්බන්ධයෙන් පළව ඇති වාර්තා පිළිබඳවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ පැහැදිළි කලා. ඒ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස අද දිනයේදී උසස් පොලිස් නිළධාරීන්ට උපදෙස් දෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ.

ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට සිදුව ඇති බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලා. මෙම මිල සුත්‍රය ජනතාවගේ දෝෂදර්ශනයට ලක්ව ඇති බවයි මෛත්‍රීීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ. එබැවින් මේ සම්බන්ධව සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්දයෙන් කරුණු අධ්‍යයනයට පත් කර ඇති කමිටුව විසින් එම ගිවිසුමේ අවාසි සහගත හෝ බරපතල තත්වයන් නිර්දේශ කලහොත් ඒවා නැවත සලකා බැලීමට සිදුවන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

පළාත් සභා මැතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය ද මනාප ක්‍රමයෙන් බැහැරව පැවැත්වීම සිය අපේක්ෂාව බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කලා. නව මැතිවරණ ක්‍රමයේ පවතින අඩුපාඩු කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා අනාවරණ කලේ.