රත්ගම සිද්ධිය ගැන මානව හිමිකම් පරීක්ෂණයක් / පොලිස් කොමිසම CID වාර්තාව අපේක්ෂාවෙන්

2019-02-23 at 12:21

ගාල්ල රත්ගම රත්නඋදාගම ප්‍රදේශයේදී පොලිස් නිළධාරින් පිරිසක් විසින් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොළිසිය සිදු කරන පරීක්ෂණය අවසන් වූ පසු එහි වාර්තාව යොමු කරන්නැයි පොලිස් කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දී තිඛෙනවා.

පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කලේ එම වාර්තාව මත පදනම්ව කොමිසම ඊට අදාල ඉදිරි පියවර අනුගමනය කරන බවයි.

ඒ හැරුණුවිට පොලිස් කොමිසමේ පාර්ශවයෙන් වෙනත් කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන බවද අදාල ප්‍රකාශකයා අවධාරණය කළා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමද පරීක්ෂණයක් ආරම්භ කර තිඛෙනවා.

නිව්ස් රේඩියෝ කළ විමසීමකදී කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ඒ බව තහවුරු කළා.

රත්ගම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ මාතර ප්‍රාදේශීය කාර්යාලයට පැමිණිල්ලක් ලැබී තිබුණු අතර ඒ අනුව එහි නිළධාරීන් පුද්ගල අතුරුදන්වීමක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබුනා.

එහෙත් අතුරුදන් වූ අදාල ව්‍යපාරිකයන් දෙදෙනා මියගිය බවට තහවුරු වීමත් සමග මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන කාර්යාලයේ මැදිහත්වීමෙන් යුතුව එම පරීක්ෂණය සිදුකරන බවයි සභාපතිනිය කියාසිටියේ.

කෙසේවෙතත් මානව හිමිකම් කොමිසමේ සභාපතිනි දීපිකා උඩගම මහත්මිය අවධාරණය කළේ අපරාධ නීතිය යටතේ පරීක්ෂණයක් කිරීමට කොමිසමට බලයක් නොමැති බවයි.

පුද්ගල අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදු කෙරෙන අතර ඒ අතරතුරදී අපරාධයක් සිදුව ඇතැයි හැගී ගිය හොත් ඒ පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීමේ හැකියාවක් පමණක් පවතින බවද ඇය අවධාරණය කළා.