රාඩා නඩුවෙන් ටිරාන් ඇතුලු 04 ක් නිදහස්

2020-07-10 at 11:36

සුනාමියෙන් අවතැන් වූ උතුරේ ජනතාවට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී රුපියල් මිලියන 124 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලැබ සිටි රාඩා ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකු සියලූ චෝදනාවලින් නිදහස් කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතායි නියෝගය නිකුත් කළේ. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම විත්තිකරුවන්ට එරෙහිව තවදුරටත් මෙම නඩුව පවත්වාගෙන නොයන බවයි.

පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කරන බවද ඔහු සඳහන් කලා. ඒ අනුව මහාධිකරණය නියම කලේ ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් හතර දෙනා නිදහස් කරන ලෙසයි.

විත්තිකරුවන් වෙත පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා අධිකරණය භාරයේ රඳවා ඇති ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර යළි ඔවුන් වෙත මුදා හරින ලෙස ද නියම කලා.

රාඩා ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස්, එම ආයතනයේ ප්‍රධාන විධායක සාලිය වික්‍රමසූරිය, එහි ගණකාධිකාරීවරයෙකු වන ජයන්ත ඩයස් සමරසිංහ සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ මුදල් අංශයේ නායකයෙකු බව කියන එමිල් කාන්තන් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් පසුගිය රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණා.