ලංකාවට එවීමට සුදානම් කර තිබු කෝටි ගණනක මත්ද්‍රව්‍ය තමිල්නාඩුවෙන් අල්ලයි – සැකපිට 09 ක් දැලේ

2020-05-23 at 09:15

ශ්‍රී ලංකාවට එවීමට සුදානම් කර තිබු රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් තමිල්නාඩුවේ, රාමනාදන්පුරම් ප්‍රදේශයේදී ඉන්දීය විශේෂ පොලිස් ඒකකයක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 09 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී ජංගම දුරකථන 30ක්, යතුරුපැදි දෙකක් සහ මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට යැවීමට සුදානම් කොට තිබු බෝට්ටුවද සිය භාරයට ගැනීමට ඉන්දියානු පොලිසිය සමත්ව තිබෙනවා.

කොවිඞ් 19 වසංගතය හමුවේ ඉන්දියාව තුළ ඇඳිරි නීතිය පවතින වාතාවරණයක සැකකරුවන් පොලිසියට සාවද්‍ය තොරතුරු සපයා ඇඳිරි නීති බලපත්‍රයක් ද ලබා ගෙන ඇති බවටයි කරුණු හෙළිව ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රවය අතර අයිස්, හෙරොයින්, වර්ග රැසක් වන බව ඉන්දීය පොලිසිය සඳහන් කලා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 5 ත් 7 ත් අතර වනවා.

මෙම මෙහෙයුම සඳහා විශේෂ විමර්ශන නිලධාරින් ඇතුළු පොලිස් කණ්ඩායම් 08 ක් එක්ව සිටි බවයි ඉන්දීය වාර්තා කියාසිටියේ.