ලලිත් වීරතුංගට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

2019-11-22 at 11:30

හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන ලලිත් වීරතුංග මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ලබන මාර්තු 13 වනදා දක්වා ඉවත් කිරිමට අභියාචණාධිකරනය අද නියෝග කළා.

දීපාලි විජේසුන්දර සහ රුවන් ප්‍රනාන්දු යන අභියාචණාධිකරන විනිසුරු මඩුල්ලයි නියෝගය ලබා දුන්නේ.

ලලිත් වීරතුංග මහතා සිය නීතීඥයින් මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයා සමග විදෙස් සංචාරයකට එක්වීමට ආරාධනයක් ලැබී ඇති බැවින් තමන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසයි.

එම ඉල්ලීම සලකා බැලු අභියාචණාධිකරන විනිසුරු මඩුල්ල ලලිත් වීරතුංග මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ලබන 13 වනදා දක්වා ලිහිල් කිරිමට නියෝග කළ බවයි නිව්ස් රේඩියෝ අධිකරණ වාර්තාකරු සඳහන් කලේ.

සිල් රෙදි නඩුවට අදාලව වරදකරු කෙරුණු ලලිත් වීරතුංග මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 3 ක සිරදඩුම් නියම කර තිබුණා.

මහාධිකරණය විසින් ලබා දි තිබු අදාල නියෝගය අභියෝගයට ලක්කරමින් ලලිත් වීරතුංග මහතා අභියාචනාධිකරණයට විශේෂ අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා.

එහිදී ලලිත් වීරතුංග මහතාට අභියාචණාධිකරණය විසින් ඇප ලබා දුන් අතර ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා.