වසර 48000 කට පෙර සිටම ලංකාවේ දුනු ඊතල තාක්ෂණය තිබිලා – අප්‍රිකාව පැරදවූ අලුත්ම අධ්‍යයනයේ විස්තර මෙන්න

2020-06-13 at 08:00

දුනු සහ ඊතල තාක්ෂණය ලොව පළමුවෙන්ම භාවිත කර ඇත්තේ ශ්‍රී ලංකාවේ බව නවතම අධ්‍යයනයක් හෙළිකර තිබෙනවා.

වසර 48000 කට පෙර සිටම එම තාක්ෂණය මෙරටදී පැවතී ඇති බවයි පාහියං ලෙනේ සිදුකල ගවේෂණයකදී අනාවරණ වී ඇත්තේ.

මෙතෙක් සැළකුණේ දුනු ඊතල තාක්ෂණය පළමුවෙන් භාවිත කර තිබුණේ අප්‍රිකා මහද්වීපයේ බවටයි.

මෙම ලෙනෙහි තිබී සොයාගත් සත්ව අස්ථි කොටස් ඇතුලු ද්‍රව්‍ය විශ්ලේෂණයෙන් මෙම තොරතුරු තහවුරු කරගත් බව පුරා විද්‍යාඥයන් පිරිසක් ඊයේ දිනයේ පළකර ඇති වාර්තාවක සඳහන්.

මෙම පර්යේෂණය සිදු කරනු ලැබ ඇත්තේ, නොයෙල් අමානෝ, ඔෂාන් වෙදගේ, ශිරාන් දැරණියගල, එම්. එම්. පත්මලාල්, නිමල් පෙරේරා, නිකොල් බොයිවින්, මයිකල් ඩී. පෙට්‍රග්ලියා සහ පැට්රික් රොබට්ස් යන පළපුරුදු පර්යේෂකයින් කණ්ඩායම විසින්.

අප්‍රිකාවෙන් පිටත ආදි මානවයා දුන්න සහ ඊතල තාක්ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂියයි ශ්‍රී ලංකාවෙන් මෙලෙස හමුවී ඇත්තේ.

ඒ අනුව තහවුරු වී ඇත්තේ, මීට වසර 48,000 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ මුල් වැසියන් සත්ත්ව ඇටකටුවලින් මෙවලම් සකස් කර දඩයම් සිදු කර ඇති බවයි.

අදාළ අධ්‍යනයට අනුව මෙරට ආදි මානවයා මෙම මෙලවලම් භාවිත කරමින් වැසි වනාන්තරයේ විශේෂයෙන් වඳුරන් සහ ලේනුන් වැනි ඉතා වේගයෙන් ගමන් කරන සතුන් දඩයම් කිරීමට සමත්ව තිබීම පර්යේෂක කණ්ඩායමේ ද විමතිය දනවන්නක් වී තිබෙනවා.

දකුණු ආසියාවේ හෝමෝ සේපියන්වරුන්ගේ පැරණිතම පොසිල හමු වූ ස්ථානය ද ලෙස සැලකෙන පාහියං ලෙන් ගුහාවෙන් පසුගිය වසරේදී වඳුරන්ගේ සහ ලේනුන්ගේ අස්ථි කොටස් හමුවුණා.

තව ද මෙම සොයා ගැනීම සැලකෙන්නේ, මීට වසර 20,000 කට පමණ පෙර යුරෝපයේ තිබී දුනු හා ඊතල තාක්ෂණය පිළිබඳ සාක්ෂි අභිබවා යන්නක් ලෙසයි.