විග්නේස්වරන් ඇතුලු 03 කට එරෙහි නඩුව අවසන්

2020-09-16 at 16:42

අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් අධිකරණයට අපහාස කල බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේස්වරන් මහතා ඇතුලු 03 දෙනෙකුට එරෙහි නඩුව අද අවසන් කෙරුණා.

ඒ පෙත්සම්කාර පාර්ශවය සහ වගඋත්තරකාර පාර්ශවය අතර සමථයක් ඇති කර ගැනීම හේතුවෙන්.

මෙම නඩුවේ පෙත්සම්කාර පාර්ශවය වන්නේ උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන වී ඩැනිෂ්වරන් මහතායි.

පළාත් ඇමති ධුරයෙන් ඉවත් කල තමන්ට එම තනතුර නැවතත් දෙන ලෙස අභියාචනාධිකරණය 2018 වසරේ පෙබරවාරි 29 වනදා නිකුත් කල නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරිම මගින් එවක උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේස්වරන් මහතා අධිකරණයට අපහාසයක් කර ඇතැයි යන්න පෙත්සමේ සඳහන්.

කෙසේවෙතත් අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව සී වී විග්නේෂ්වරන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභායචනයක්ද ගොණු කර තිබුණා.

දෙපාර්ශවයම අද අධිකරණයේදී සඳහන් කර තිබුණේ මෙම නඩු කටයුත්ත ඉදිරියට ගෙනයාමට අපේක්ෂා නොකරන බවයි.

ඒ අනුව නඩුව අවසන් කිරීමටයි මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කරනු ලැබුවේ.