විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන් බලාගැනීම රජයේ වගකිමක් – අගමැති

2020-02-14 at 14:14

රටේ සංවර්ධනය වෙනුවෙන්, සිය පවුල්වලින් ඈත්ව සේවය කරන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දූදරුවන්ට යහපත් අනාගතයක් බිහිකිරීම රජයේ වගකීමක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (14) අරලිය ගහ මන්දිරයේ පැවැති විදේශ රැකියාවන්හී නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ  දූ දරු ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය අමතමිණි.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දූදරුවන් 734ට මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරිණී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන ආරම්භ වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව 1996 වර්ෂයේ දී. මම කම්කරු ඇමැතිවරයා ලෙස කටයුතු කරපු කාලයේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශය තිබුණේ කම්කරු අමාත්‍යාංශය යටතේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව විදෙස් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගේ දරුවන්ට මෙම ශිෂ්‍යත්වය පිරිනැමෙනවා.

මෙම සංකල්පය යටතේ මුලින්ම ශිෂ්‍යත්ව පිරිනමන්න හැකියාව ලැබෙන්නේ 157 දෙනකුට. 1996 සිට 2018 දක්වා දරුදැරියන් 41,343කට ශිෂ්‍යත්ව පිරිනමන්න හැකියාව ලැබී තිබෙනවා. ඒ සඳහා මිලියන 810ක මුදලක් වැය කරලා තියෙනවා. 2019 වර්ෂයේ දි 3489කට ශිෂ්‍යත්ව ලබා දෙන අතර, ඒ සඳහා මිලියන අසූ හතයි, දෙලක්ෂ හැටපන්දහසක මුදලක් (87,265,000.00)වෙන් කරලා තියෙනවා.

ඒ අනුව 5 ශේණියේ ශිෂ්‍යත්වය සමත් වන දරුවන්ට රුපියල් 20,000ක ශිෂ්‍යත්වයක් පිරිනමනවා. සාමාන්‍ය පෙළ සමත් වන අයට රුපියල් 25,000ක ශිෂ්‍යත්වයක් පිරිනමනවා. උසස්පෙළ සමත් වෙලා උසස් අධ්‍යාපනය හදාරන අයටත් ශිෂ්‍යත්වයක් පිරිනමනවා.

විගමනික ශ්‍රමිකයන්ගෙන් ලියාපදිංචිය සඳහා අය කරන මුදලෙන් කාර්යංශයට ලැබෙන මුදල් තමයි මේ ශිෂ්‍යත්ව ලබා දීම සඳහා වැය කරන්නේ. මෙවර බස්නාහිර පළාතට විතරක් 734 දෙනකුට ශිෂ්‍යත්ව පිරිනැමෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 18.5ක් වෙන් කරලා තියෙනවා. ඒ අනුව කොළඹට 229, කළුතරට 210, ගම්පහට 295ක් ශිෂ්‍යත්ව සඳහා තේරී පත් වෙලා ඉන්නවා. මේ ශිෂ්‍යත්වලාභී දරුවන් තමන්ගේ හැකියාවන් වර්ධනය කරගැනීම සඳහා ලැබෙන ශිෂ්‍යත්ව මුදල් යොදවලා රටට වැඩදායි පුරවැසියන් වෙයි කියලා මම හිතනවා.

දැනට විදෙස්ගතව සිටින පිරිස දළ වශයෙන් මිලියන 1.6ක් පමණ වෙනවා. මේ අයගේ දරුවන් බලාගැනීමේ වගකීම අපිට තියෙනවා. අපේ රටට වැඩියෙන්ම මුදල් ලැබෙන්නේ විදේශ ගත ශ්‍රමිකයින්ගෙන්. රටෙන් ඈත්වෙලා, තමන් උපයන මුදල් රටේ සංවර්ධනය වෙනුවෙන් එවන මේ විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන් අපි ආරක්ෂා කළ යුතුයි.  අද බොහෝ පාසල් අවට මත්ද්‍රව්‍ය වෙළෙදාම ව්‍යාප්ත වෙලා. ඒවායින් මිදිලා යහපත් පුරවැසියන් වෙන එක මේ දරුවන්ගේ වගකීමක්. ඔබේ දෙමව්පියෝ උපයන මුදල් තමයි මේ රටට එවන්නේ. ඔබ දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කළ යුතුයි.

මෙම අවස්ථාවට විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ, විදේශ සේවා කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ද එක් වූ අතර ශිෂ්‍යත්වලාභී දරුදැරියන් සහ ඔවුන්ගේ දෙමව්පියන්, ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් ද එක්වූහ.


lectus massa consequat. sem, Donec id pulvinar efficitur. luctus Lorem ut venenatis