විමල්ගේ “නැත්ත වෙනුවට ඇත්ත” සියලු පිටපත් විනාශ කරන ලෙස නියෝග

January 11, 2019

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල්  මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට නියෝග කර තිඛෙනවා.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ ලියකියවිලි පදනම් කරගනිමින් වීරවංශ මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලද නැත්ත වෙනුවට ඇත්ත ලෙස කෘතිය රචනා කල බවට වන චෝදනාවට අදාළවයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව 2008 වසරේ ජුලි මස 24 වනදා මෙම නඩුව ගොණු කර තිබුණා.

ඒ අනුව වීරවංශ මහතා අදාල කෘතිය රචනා කිරිමේදී පදනම් කරගත් ලිපි ලේඛණ බුද්ධිමය දේපළ පනත යටතේ පැමිණිලිකරුට අයත් බැවින් රුපියල් මිලියනයක වන්දි මුදලට අමතරව අදාල කෘතිය මුද්‍රණය කොට උපයන ලද මුදල ගණනය කොට ව්‍යස්ථාපිත අලාභ මුදලක් ගෙවන ලෙස ද අධිකරණය විමල් වීරවංශ මහතාට නියෝග කර තිඛෙනවා.

එමෙන්ම නැත්ත වෙනුවට ඇත්ත කෘතියේ මුද්‍රණය කර ඇති පිටපත් විනාශ කරන ලෙස ද මෙම නඩුවේ නඩු ගාස්තු පැමිණිලිකාර පාර්ශවයට ගෙවන ලෙසත් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට නියෝග කර ඇති බවයි නිව්ස් රේඩියෝ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.