ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් MacBook Pro මාදිලි කිහිපයකට තහනමක්

2019-09-12 at 10:29

ඇපල් සමාගම විසින් නිෂ්පාදිත මැක්බුක් ප්‍රෝ වර්ගයේ පරිඝණක මාදිලි කිහිපයක් සිය ගුවන් යානා තුල රැගෙන යාම ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් තහනම් කර තිඛෙනවා.

මැක්බුක් ප්‍රෝ අගල් 15 කාණ්ඩයේ යල් පැන ගිය පරිඝණකවල බැටරිය අධික ලෙස උණුසුම්වී ගිනි ගැනීමේ අවධානමක් පැවතීමයි ඊට හේතුව වන්නේ.

2015 වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2017 වසරේ පෙබරවාරි මාසය දක්වා අලෙවි මැක්බුක් ප්‍රෝ වර්ගයේ පරිඝණක සඳහා මෙම රෙගුලාසි බලාත්මක වනු ඇති.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් මගීන්ට දැනුම් දෙන්නේ ඇපල් සමාගම හරහා සිය මැක්බුක් ප්‍රෝ මාදිලි ආරක්ෂිතද යන්න තහවුරු කරගන්නා ලෙසටයි.

එවැනි තහවුරු කිරීමක් නොමැති ඇපල් මැක්බුක් ප්‍රෝ අගල් 15 කාණ්ඩයේ පරිඝණක සිය ගුවන් යානාවලට ගෙන ඒමට අවසර නොදෙන බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කලා.