ශ්‍රී ලංකාවට සෞඛ්‍ය උපකරණ සහ ආධාර දීමට ජපාන තානාපති විපක්ෂ නායකට සහතික වෙයි

2021-05-04 at 17:31

SAJITH JAPAN

කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය සෞඛ්‍යමය උපකරණ සහ ආධාර ලබා දීමට උපරිම මැදිහත්වීමක් සිදුකරන බවට ජපාන තානාපති සුගියාමා අකිරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පොරොන්දු වී තිබෙනවා.

දැඩි පීඩාවකට පත්ව සිටින ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීම උදෙසා ජපානයේ සහය අත්‍යවශ්‍ය බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ.

දෙපාර්ශවය අතර විශේෂ රාජ්‍ය තාන්ත්‍රික හමුවක් අද විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබදතාවය පිලිබදව සිහිපත් කළ විපක්ෂ නායකවරයා ව්‍යසනකාරී සෑම අවස්ථාවකම ජපානය සද්භාවයෙන් ශ්‍රී ලංකාවට මිත්‍රත්වයේ දෑත් දිගුකළ බවද සඳහන් කලා.

විපක්ෂය නියෝජනය කරන ප්‍රධානතම පක්ෂය ලෙස සමගි ජන බලවේගය රටේ සමස්ත ජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවයි සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේ.

එන්නත්කරණය සදහා ජපානය ප්‍රමුඛතාවය දුන් බැවින් එරට තුළ කොරෝනා උවදුර ව්‍යසනයක් නොවන තැනට පත්වූ බව තානාපති සුගියාමා අකිරා මහතා ප්‍රකාශ කල බව විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කලා.