ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු සොයාබැලීමට පංච පුද්ගල කමිටුවක්

2020-09-16 at 15:31

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත පෙරේරා / රාගම වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ප්‍රෂාන්ත විඡේසිංහ / විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර / විශේෂඥ වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න සහ විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන යන මහත්ම මහත්මීන් ඊට ඇතුළත්.

වෛද්‍ය ආඥා පනතට අනුව වෛද්‍ය සභාවේ තීන්දු තීරණ වල අවසන් වගකීම පැවරී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාටයි.

එසේ වුවද, වෛද්‍ය සභාවේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශ්ව වලින් පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවයි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියාසිටියේ.

එම පැමිණිලි වලින් ඉල්ලා ඇති ප්‍රධානතම කරුණක් වී ඇත්තේ වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට ඇතිව ඇති බලපෑම හා නැවත වෛද්‍ය සභාව ස්වාධීනව කටයුතු කරන ආයතනයක් බවට පත් කර දීමයි.

එමෙන්ම මේ දිනවල දැඩි කථා බහට ලක්ව ඇති රුසියානු විශ්ව විද්‍යාල කිහිපයක ලියාපදිංචිය අහෝසි කිරීම සම්බන්ධයෙන්ද මෙම කමිටුව විමර්ශනය කිරීමට නියමිතයි.

වෛද්‍ය සභාව තුල පුරප්පාඩු වී ඇති වෛද්‍ය සභා නියෝජිතයින් පත් කිරීම සදහා පවත්වන්නා වූ නිලවරණය දිගින් දිගටම කල්දැමීම / අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම්වත් සපුරා නැති වෛද්‍යවරුන් වෛද්‍ය සභාව තුල ලියාපදිංචියට කටයුතු කිරීම / විදෙස් වෛද්‍ය උපාධිය ලබාගත් ශිෂ්‍යයින්ගේ වෛද්‍ය උපාධිය ලියාපදිංචි කිරිම සදහා පවත්වනු ලබන ERPM විභාගය කල්දැමීම සහ වෛද්‍ය සභාවේ විෂය පරිපථයට හා පවතින නීති වලට පරිභාහිරව වෛද්‍ය සභාව තුල පැමිණිලි විභාග කිරීම සිදුවන බව යන පැමිණිලිද අමාත්‍යවරියට ලැබී තිබෙනවා.

මෙම කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය සභාව තුලින් කරුණු විමසා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සපයන ලෙස වෛද්‍ය සභාවට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම එම කරුණු පිළිබද අධ්‍යයනය කර ස්වාධීන වාර්තාවක් ලබාදිම සදහායි මෙම පංච පුද්ගල කමිටුව පත් කර ඇත්තේ.

ඒ අනුව වෛද්‍ය සභාවෙන් ලබාගන්නා වාර්තාව හා ඉහත සදහන් විශේඥ කමිටුව මගින් ලබාදෙනු ලබන වාර්තාවන් අධ්‍යයනය කර වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ප්‍රතිස්ථාපනය කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සඳහන්.