CID අධ්‍යක්ෂ ශානි අබේසේකරට ස්ථාන මාරුවක්

2019-11-21 at 20:18

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස පත් කිරීමට අද (21) තීරණය කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි.

පොලිස් කොමිෂන් සභාව ගත් එම තීරණය අද (21) සවස්වරුවේම පොලිස් කොමිෂන් සභාවේ ලේකම් අත්සන් තැබූ අතර එය අද පස්වරුවේම පොලිස් මූලස්ථානයට ද යොමු කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අබේසේකර මහතා ඉවත් කිරීමෙන් ඇතිවූ පුරප්පාඩුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න මහතා පත් කර තිබේ.

ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කරනු ලැබ ඔහු එම තනතුරට පත් කරනු ලැබුවේ 2017 සැප්තැම්බර් හත් වැනිදාය.

රහස් පොලිස් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩු මත ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම පත්වීම කරනු ලැබීය.