සම්පූර්ණ ඇමති මණ්ඩලය 53 යි – කාන්තාවන් 1 යි – අලුත් මුහුණු 15 යි

2019-11-27 at 17:59

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනෙක් සහ නියෝජ්‍ය ඇමතිවරුන් 3 දෙනෙක් බදාදා (නොවැම්බර් 27) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ.

කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවිණි. පසුගිය සතියේ අගමැති මහින්ද රාජපක්ෂ සමග කැබිනට් අමාත්‍යවරුන් 16 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දුන් අතර බදාදා දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිස සමග සම්පූර්ණ ඇමති මණ්ඩලය 53 දක්වා ඉහළ ගොස් තිබේ.

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් ඇමතිවරුන් 16ක්, රාජ්‍ය ඇමතිවරුන් 35 දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපතිවරයා මේ වන විට පත්කර තිබේ. ඒ අතරින් චමල් රාජපක්ෂ කැබිනට් අමාත්‍ය පදවියක් උසුලන් අතරම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය පදවියට ද පත්කොට තිබේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර සම්පූර්ණ ඇමති මණ්ඩලය 70කට සිමා කර ඇති අතර කැබිනට් ඇමතිවරුන් 30 දෙනෙකුත් කැබිනට් නොවන ඇමතිවරුන් 40කුත් පත් කළ හැකිවේ. ඒ අනුව අවශ්‍ය නම් ඉදිරියේදී තවත් කැබිනට් අමාත්‍යවරුන් 14ක් හා රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකියාව තිබේ.

53 දෙනෙකුගෙන් යුත් සම්පූර්ණ ඇමති මණ්ඩලයේ සිටින්නේ එක් කාන්තාවක් පමණක් වීම විශේෂත්වයකි. ඒ කැබිනට් අමාත්‍යධුරයක් දරන පවිත්‍රා වන්නිඅරච්චිය. “අවාසනාවකට” කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය ඇමැති ධුරය කාන්තාවකට ලබාදීමට තමන්ට නොහැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ඒ ගැන අදහස් දක්වමින් කියා සිටියේය.

සමස්තයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් මන්ත්‍රීවරියන් සිටින්නේ 13 දෙනෙකු පමණි. වත්මන් ආණ්ඩුව නියෝජනය කරන කාන්තා හිටපු අමාත්‍යවරියන් වන සුමේධා ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ශ්‍රියානි විජේවික්‍රමට මෙවර කිසිදු අමාත්‍ය තනතුරක් හිමි වී නැත. මෙම සම්පූර්ණ අමාත්‍ය මණ්ඩලයේ දෙමළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සිටින අතර කිසිදු මුස්ලිම් මන්ත්‍රීවරුවරයෙකුට අමාත්‍ය පදවියක් හිමි වී නැත.

වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන උදය ගම්මන්පිල, සරත් අමුණුගම, රන්ජිත් සොයිසා, ටී බි ඒකනායක, චන්දිම වීරක්කොඩි, ෆයිසර් මුස්තාෆා සහ ඩිලාන් පෙරේරා වැනි මන්ත්‍රීවරුන්ට කිසිදු ඇමැතිධුරයක් නොලැබීම ද විශේෂත්වයකි.

තමන්ට අමාත්‍යධුරයක් අවශ්‍ය නැතැයි ජනාධිපතිවරයාට දැන්වූ බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මීට පෙර සඳහන් කර තිබුණි.

ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂට සහය දීමට එක්වූ විජේදාස රාජපක්ෂ සහ වසන්ත සේනානායක මන්ත්‍රීවරුන්ට හෝ 2018 දින 52 රාජපක්ෂ ආණ්ඩුවට සහය දීමට එක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබා දී නැත.

දෙමළ ජාතික සන්ධානයෙන් ආණ්ඩුවට එක් වූ එස් වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයාටද අමාත්‍ය ධුරයක් හිමිව නොමැත.

අද දිවුරුම් දුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අතරට අලූත් මුහුණු 15 ක් එක්ව තිබෙනවා.

ඉන් 13 දෙනෙකුම රාජ්‍ය අමාත්‍යවරුන් වීම විශේෂත්වයක්. මොහාන් ප‍්‍රියදර්ශන ද සිල්වා, විජිත බේරුගොඩ, රොෂාන් රණසිංහ, ජානක වක්කුඹුර, විදුර වික‍්‍රමනායක සහ ෂෙහාන් සේමසිංහ ද එම පිරිසට අයත්. ඊට අමතරව කනක හේරත්, දිලූම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, විමලවිර දිසානායක, ජයන්ත සමරවීර, සනත් නිශාන්ත සහ තාරක බාලසූරිය ද අද පලමුවරට රාජ්‍ය අමාත්‍ය ධුරයකින් පිදුම් ලැබුවා.

පළමුවරට නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් දෙදෙනා වන්නේ කාංචන විජේසේකර සහ ඉන්දික අනුරුද්ධයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් 08 දෙනෙකුට ද අද දිනයේ රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනැමුණා.

එස් බී දිසානායක, ජෝන් සෙනෙවිරත්න, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න සහ තිලංග සුමතිපාල එම පිරිසයි.

කැබිනට් ඇමතිවරුන්ගේ සංඛ්‍යාව අඩු කළ ආකාරයට රාජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාව ද අඩුකිරීමට අවශ්‍යතාවක් තිබුණත් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති විශාල වගකීම් රාශිය ඉටුකිරීම සඳහා එම ප්‍රමාණය පත්කළ බව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේය.

ජනතාවගේ අවශ්‍යතාවයක් සළකා බලා මෙම අමාත්‍ය ධුර වෙන්කළ බව පැවසූ ජනාධිපතිවරයා, ඔවුන්ට ලබාදී තිබෙන්නේ වරප්‍රසාදයක් නොව වගකීමක් බව අමාත්‍යවරුන්ට මතක් කර දුන්නේය.

(BBC Sinhala)