සමාජ මාධ්‍ය වංචා ඔස්සේ මිලියන 61 ක් වංචා කරලා – ජාවාරම්වලට ලාංකිකයන් පහසුවෙන් හසුවන බව විදේශිකයන් කියලා

2020-09-16 at 18:24

සංවිධානාත්මක පිරිස් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් යොමුකරමින් රුපියල් මිලියන 61 ක මුදලක් පසුගිය කාලය තුල මහජනතාවගෙන් වංචා කර ඇති බව අනාවරණ වී තිබෙනවා.

ත්‍යාග මුදල් සහ විදේශ රැකියා දෙන බව පවසමින් මෙම වංචාවන් සිදුවන බවයි අනාවරණ වී ඇත්තේ.

පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව වැඩිදුරටත් කරුනු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය හා තොරතුරු තාක්ෂණ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන මෙම මුදල් වංචා කිරීමේ ජාවාරම් සඳහා ශ්‍රී ලාංකිකයන් පහසුවෙන් ගොදුරු කර ගතහැකි බව දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන විදේශීය සැකකරුවන්ගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීම්වලදී ඔවුන් විසින් අනාවරණ කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා මෙහිදී සඳහන් කළා.

මේ අතර රන් භාණ්ඩ සොරකම් කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගැනීම සඳහා මේවනවිට විශේෂ විමර්ශණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

ප්‍රදේශ රැසක සිදුව ඇති කොල්ලකෑම්වලට සම්බන්ධ මෙම අඹුසැමි යුවල දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් දෙදෙනෙකු බවත් පදිංචි ලිපින සහ නම් වෙනස් කරමින් පෙනී සිටින බවත් අනාවරණ වී ඇති බවයි පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ.